Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාන්තුවරුන්ගේ සටන 13-14 එස්.එස්.සී. පිටියේදී
සාන්තුවරුන්ගේ සටන

සාන්තුවරුන්ගේ සටන 13-14 එස්.එස්.සී. පිටියේදී

editorial - 2021 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ කතෝලික පිරිමි පාසල් දෙකක් වන මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර ‘මෝරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය සඳුදා (13) සහ අඟහරුවාදා (14) යන දිනවල කොළඹ එස්.එස්.සී කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

‘ශාන්තුවරයන්ගේ සටන’ ලෙස ප‍්‍රචලිත මෙම මහ කි‍්‍රකට් තරගය, පළමු ඉනිම  ඕවර 60 කට සීමා කරන ලද එකම වාර්ෂික දෙදින ක‍්‍රිකට් තරගය වේ. මෙවර මහ ක‍්‍රිකට් තරගයේදී ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ නායක තුන් ඉරියව් ක‍්‍රීඩක දුනිත් වෙල්ලාලගේ විසින් මෙහෙයවනු ලබන අතර ශාන්ත පීතර විදුහල් කණ්ඩායම 5 වැනි වසරේ වර්ණලාභියෙකු වන නිපුනක ෆොන්සේකාගේ නායකත්වය යටතේ තරග වදිනු ඇත.

සාන්ත ජෝෂප් විද්‍යාලය ජයග‍්‍රහණ 12 ක් සමගින් තරගාවලි ඉතිහාසයේ පෙරමුණේ පසුවන අතර ඔවුන්ගේ අවසන් ජය වාර්තා වී ඇත්තේ 2008 වසරේදී රුවන්ත ප‍්‍රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේය. 2016 වසරේදී විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ 10 වැනි ජයග‍්‍රහණය වාර්තා කළ සාන්ත පීතර විදුහල මේ දක්වාම ‘මෝරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලාන’ තමන් සන්තකයේ රඳවා තබාගන්නට සමත් වී ඇත.

මෙම වසරේදී වසංගත තත්ත්වය හේතුවෙන් අවධානම අවම කරගැනීම සඳහා පේ‍්‍රක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වෙන නමුත් උද්‍යෝගීමත් ආදි සිසුන් හා වත්මන් සිසුන් විශාල පිරිසක් පුද්ගලික, දුරස්ථ ස්ථානවල සිට ආරක්ෂිතව තරඟය නැරඹීමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට අමතරව එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි සෞඛ්‍ය අවශ්‍යතාවන් හා මාර්ගෝපදේශයන් අනුගමනය කරනු ඇත.  

‘පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලාන’ වෙනුවෙන් දෙවිදුහල් තරග වදින සීමිත  ඕවර තරගය 1975 වසරේ ආරම්භ විය. මෙවර විදුහල් දෙක අතර පැවැත්වෙන සීමිත  ඕවර තරගය මෙම මස 16 වෙනිදා පේ‍්‍රක්ෂක සහභාගීත්වයෙන් තොරව කොළඹ එස්.එස්.සී පිටියේදී පැවත්වීමට නියමිතය. ශාන්ත ජෝෂප් විදුහල එක්දින තරග වාර්තාව අනුව 23-20 ක් ලෙස ඉදිරියෙන් පසුවන අතර තරග 2 ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ.

ශාන්ත ජෝසප් කණ්ඩායම නියෝජනය කරන දුනිත් වෙල්ලාලගේ, ෂෙවෝන් ඩැනියෙල් සහ සදීෂ් ජයවර්ධනද, ශාන්ත පීතර විදුහල නියෝජනය කරන වනුජ සහන්, දනල් හේමානන්ද සහ ළහිරු දෙවැටගේද බංගලාදේශ 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියට සහ එංගලන්ත 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියට කී‍්‍රඩා කළ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කිරීම මෙවර මහ කි‍්‍රකට් තරගයට වඩාත් උද්වේගකර බවක් එක් කරනු ඇත.

මෙම පාසල් ද්විත්වය බොහෝ ක‍්‍රීඩකයන් ජාතික කණ්ඩායමට දායාද කර තිබේ. වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, තිසර පෙරේරා, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා, ප‍්‍රියමාල් පෙරේරා හා සධීර සමරවික‍්‍රම ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ආදි ජෝෂප් ක‍්‍රීඩකයන් වන අතර රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආර්නෝල්ඞ්, මලින්ද වර්ණපුර, කෞෂාල් ලොකුආරච්චි හා ඇන්ජලෝ පෙරේරා ජාතික කණ්ඩායම නියෝජනය කළ ආදි පීතර ක‍්‍රීඩකයෝ වෙති.

මෙවර තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගම කටයුතු කරන අතර හැටන් නැෂනල් බැංකුව එහි සම අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 

(ජායාරූපය වමේ සිට දකුණට) : මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති රන්ජිත් අන්ද්‍රාදි පියතුමා, ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ ප‍්‍රධාන උපදේශක / උප සභාපති (සමූහ නීති සහ නියාමන) ටි‍්‍රනේෂ් ප‍්‍රනාන්දු මහතා සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති රෝහිත රොද්‍රිගූ පියතුමන්.


අදහස් (0)

සාන්තුවරුන්ගේ සටන 13-14 එස්.එස්.සී. පිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.