Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හිටපු ටෙස්ට් පිතිකරු චේතන් චෞහාන් සමුගනී

හිටපු ටෙස්ට් පිතිකරු චේතන් චෞහාන් සමුගනී

editorial - 2020 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ටෙස්ට් පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන චේතන් චෞහාන් මහතා අද (16 වැනිදා) සවස අභාවප්‍රාප්ත විය. මිය යන විට 73 වැනි වියේ පසුවූ චෞහාන් දිගු කලක් රෝගාතුරව සිටි අතර කොරෝනා වයිරසයටද ගොදුරුව සිටියේය.

උත්තර් ප්‍රදේශ් රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ චෞහාන් මහතා ජූලි මස මුලදී කොරෝනා වයිරසයේ ආසාදනයට ගොදුරු විය. පසුව ඔහු ලක්නව්හි සංජේ ගාන්ධි රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහුට වකුගඩු හා රුධිර පීඩන ගැටළු ඇති වූ බැවින් 14 වැනිදා, (සිකුරාදා) වන විට  ස්වසනාධාරක යන්ත්‍රයේ  සහය අවශ්‍ය විය.

වේග පන්දු යවන්නන් ක්‍රිකට් ලෝකය පාලනය කළ යුගයකදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ධෛර්ය සම්පන්න පිතිකරුවෙකු ලෙස සැලකෙන චෞහාන් ටෙස්ට් තරග 40 කට සහ එක්දින තරග 7 කට සහභාගී විය. ඔහු වැඩිදෙනාගේ මතකයේ රැඳී සිටින්නේ සුනිල් ගවස්කාර්ගේ සහායක පිතිකරුවා ලෙසයි. 1970 සහ 1980 දශකයේ මුල් භාගයේදී චෞහාන් සහ ගවස්කාර් එක්ව ටෙස්ට්  ලකුණු 3,000 කට වඩා රැස් කළ අතර දෙදෙනා ගොඩනැංවූ ශතක සම්බන්ධතා ගණන 10 කි.

චෞහාන් ටෙස්ට් ඉනිමකදී ලකුණු 31.57 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 2,084 ක් රැස් කළේය. ටෙස්ට් තරග 40 කට සහභාගි වූ නමුත් ශතකයක් ලබාගැනීමට අපොහොසත්වූ චෞහාන් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 97 ක්  විය.

ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව චෞහාන් දිල්ලි දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ විවිධ භූමිකා නිරූපනය කරමින් සේවය කළේය. ඔහු දිල්ලි දිසත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති, උප සභාපති, ලේකම්වරයා මෙන්ම ප්‍රධාන තේරීම් කමිටු සාමාජිකයා ලෙසින්ද කටයුතු කළ අතර ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඉන්දීය කණ්ඩායමේ කළමනාකරු ලෙසද කටයුතු කළේය. ඊට අමතරව දෙවරක්ම ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රීවරයකුද විය.

චෞහාන් පසුගිය වසර දක්වා උත්තර් ප්‍රාන්තයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සේවය කළේය.


අදහස් (0)

හිටපු ටෙස්ට් පිතිකරු චේතන් චෞහාන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.