Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘ඩී‘ කාණ්ඩයේ ශූරයන් වීමේ අටියෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට
වි20 ලෝක කුසලාන 2024

‘ඩී‘ කාණ්ඩයේ ශූරයන් වීමේ අටියෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට

editorial - 2024 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද නිව්යෝක් නුවර සිට..)

⁣මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටය පිවිසීම සඳහා පළමු වටයේ තරග 3 ක් පමණක් ජයගැනීම ප්‍රමාණවත් වුවද, ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ තරග 4 ම ජයගනිමින් ‘ඩී‘ කාණ්ඩයේ ශූරයන් ලෙස අපරාජිතව දෙවැනි වටයට පිවිසීමය. ඊට හේතු දෙකක් ඇති අතර ඉන් පළමු වැන්න වන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් දෙවැනි වටයට පිවිසීමය.

දෙවැන්න වන්නේ පළමු වටයේදී කාණ්ඩය ශූරයන් ලෙස දෙවැනි වටයට පිවිසෙන කණ්ඩායමට එහිදී මුහුණ දීමට සිදුවන්නේ සෙසු කාණ්ඩ 3 න් එකක ශූරයන් සමගත්, කාණ්ඩය 2 ක අනු ශූරයන් සමගත් වීමය. යම් හෙයකින් ශ්‍රී ලංකාව පළමු වටයේ තරග අවසානයේ ‘ඩී‘ කාණ්ඩයේ අනු ශූරයන් ලෙස දෙවැනි වටයට සුදුකම් ලැබුවහොත් එහිදී ඔවුන්ට සෙසු කාණ්ඩ 3 න් දෙකක ශූරයන් සමගත්, එක් කාණ්ඩයක අනු ශූරයන් සමගත් තරග වැදීමට සිදුවනු ඇත. එය තරමක් අවාසි සහගතය.

මෙම ක⁣රුණු හිතේ තබාගෙන මෙවර විස්සයි-20 ලෝක කුසලන තරගාවලියට  ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (3 වැනිදා) රාත්‍රී 8.00 නිව්යෝක් නුවර නසාව් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  දකුණු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග බිමට අවතීර්ණ වනු ඇත.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජ්‍යෙෂ්ඨ සහ නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත සමබර කණ්ඩායමක් වුවත්, ඔවුන්ගේ සංඛ්‍යා දත්ත දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රිඩකයන්ගේ සංඛ්‍යා දත්ත සමග සැසඳීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තරමක් ඉදිරියෙන් සිටින බව පිළිගත යුතුය.

කෙසේ වුවත් ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක් බැවින් හෙට දිනයේදී ප්‍රතිවාදී කණ්ඩායමට වඩා වැඩි දස්කම් දක්වන කණ්ඩායම තරගය ජයගනු ඇත. එමෙන්ම විස්සයි-20 තරග රටාව අධිවේගී ස්වරූපයක් ගන්නා බැවින් සුලු අතපසුවීමකින් වුවද තරගයේ ජයග්‍රහණය ඕනෑම කණ්ඩායමක් අතින් ගිළිහී යෑමටද ඉඩ කඩ තිබේ.

එසේ වුවත් ‘ඩී‘ කාණ්ඩයේ ශූරයන් ලෙස දෙවැනි වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව හෙට තරගයේදී දකුණු අප්‍රිකානුවන් පරාජය කළ යුතුය. එසේ නොවුණහොත් ඔවුන්ට කාණ්ඩ ශූරයන් බවට පත්වීම සඳහා දකුණු අප්‍රිකාව ඔවුන්ගේ සෙසු තරග 3 න් එකක් පරාජයට පත්වන තුරු බලා සිටීමට සිදුවනු ඇත. ‘ඩී‘ කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු රටවල් 3 වන්නේ බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තයයි.

තරගාවලියට පෙර තේරීම් කමිටු සභාපති උපුල් තරංග පැවසූයේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා මුල් තරග කිහිපයේදී අතිරේක ක්‍රීඩයකු ලෙස යොදා ගන්නා බවය. එම ප්‍රකාශයේ නොකී අර්ථය වන්නේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට කණ්ඩායමේ  ස්ථානයක් හිමිවන බවය. බොහෝ දුරට ඔහු පෙරහුරු තරග දෙකේදී මෙන් හෙට තරගයේදී අංක 3 ස්ථානයේ පන්දුවට පහරදෙනු ඇත.

මඳ වේග පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙනෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානකද කණ්ඩායමේ සිටින බැවින් ශ්‍රි ලංකා කණ්ඩායම පිතිකරුවන් 7 යි, පන්දු යවන්නන් 4 යි යන  අනුපාතයට අනුව යමින් හෙට තරගයට ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

ඒ අනුව පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ආරම්භ කරන ශ්‍රී ලංකා ඉනිමේ අංක 4 සහ 5 ස්ථානයන් සධීර සමරවික්‍රමට සහ චරිත් අසලංකට හිමිවනු ඇත. මැතිව්ස් අංක 6 ස්ථානයේත්, දසුන් අංක 7 ස්ථානයේත් පන්දුවට පහර දෙනු ඇත. පිතිකරු ලැයිස්තුවට අනුව නායක වනිඳුට හිමිව ඇත්තේ අංක 8 ස්ථානය වුවත්, පෙරහුරු තරගවලදී මෙන් ඔහු පාවෙන පිතිකරුවකු ලෙස ඕනෑම ස්ථානයක පන්දුවට පහරදීම සඳහා පැමිණිය හැකි බවද කිව යුතුය.

මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු දඟ පන්දු යවන්නා වන අතර මතීෂ පතිරණ සමගින් වමතින් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුෂංක හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

දකුණතින් පන්දු යවන මතීෂ සමගින් මැතිව්ස් සහ දසුන්ද කණ්ඩායමේ සිටින බැවින් දුෂ්මන්ත චමීරට කණ්ඩායමට ඇතුළත් වීමට ඇති ඉඩකඩ ඉතා අඩුය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ගත් කළ එය ඒඞ්න් මාක්‍රම්, හෙන්රිච් ක්ලාසන්, රීසා හෙන්ඩ්‍රික්ස් සහ ඩේවිඞ් මිලර් වැනි ප්‍රවේගකාරී පිතිකරුවන් රැසකගෙන් සමන්විත කණ්ඩායමකි. කගිසෝ රබාඩා සහ ඇන්රික් නොකියා වැනි අධිවේගී පන්දු යවන්නන්ද ඔවුන් සතුව සිටිති. එබැවින් ඔවුන්ගේ අඩුපාඩු සහ දුර්වලතා  හඳුනාගෙන ඔවුන් මෙල්ල කිරීමට සමත් වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට දිනයේදී නිසැකවම ජයපැන් බීමට අවස්ථාව උදාවනු ඇත.


අදහස් (0)

‘ඩී‘ කාණ්ඩයේ ශූරයන් වීමේ අටියෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.