Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 100 වැනි තරගයට පිවිසෙන තුෂාරගේ ක්‍රිකට් තුටුපඬුරු

100 වැනි තරගයට පිවිසෙන තුෂාරගේ ක්‍රිකට් තුටුපඬුරු

editorial - 2025 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(දමින්ද විජේසූරිය - ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)
 
ක්‍රිකට් තරගයක ලකුණු සටහන් කිරීම යනු වෙනමම කලාවකි. එම කලාවේ කෙළපැමිණයකු වන නාවලගේ තුෂාර මිහිලාල් කුරේ, තම 100 වැනි ටෙස්ට් තරගයේ ලකුණු සටහන් කිරීම සඳහා අද (06 වැනිදා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙයි. 
 
පාට පාට පැන්සල් කිහිපයකින් යුත් පැන්සල් පෙට්ටියකුත්, කාබන් පෑන් දෙක තුනක් සහ ‘රෙඩී රෙකොනර්’ නම් වූ ක්‍රිකට් ලකුණු සටහන් පොතත් අතැතිව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 1987 දී පැවැති ටෙස්ට් තරගය  සඳහා සී.සී.සී. පිටියට පිවිසි කුරේ, අද දින ගාල්ල ක්‍රීඩාංගණයට පිවසෙන්නේ ‘ලැප් ටොප්’ පරිගණකයක් අතැතිවය. 
 
අද අප දිවිගෙවන පරිගණක යුගගේදී පවා, එක් එක් පිතිකරුවා එක් එක් පන්දු යවන්නාට එරෙහිව ලබාගත් ලකුණු සංඛ්‍යාවන් වෙන වෙනම සොයාගැනීම තරමක් අසීරු අභියෝගයකි. භාවිතා කරනු ලබන මෘදුකාංගයේ ස්වභාවය අනුව එය කළ හැකි හෝ නොහැකි වන අවස්ථා තිබේ. එහෙත් 1987 දී බ්‍රෙන්ඩන් කුරුප්පු සිය මංගල ටෙස්ට් තරගයේදීම ද්විත්ව ශතකයක් ලබාගත් අවස්ථාවේදීත්, ආරම්භක පිතිකරුවා රිචඩ් හැඩ්ලිට කීයක් ගැහුවාද, මාටින් ස්නේඩන්ට කීයක් ගැහුවාද නැත්නම් ජෝන් බ්‍රේස්වෙල්ට කීයක් ගැහුවාද යන්න සොයාගත හැකි ක්‍රමවේදයක් කුරේ සතුව තිබිණ. ඒ ඔහු සතුව තිබූ පාට පාට පැන්සල් පෙට්ටියේ ආනුභාවයෙනි. 
 
අද වන විට ඔහුගේ බාහිර පෙනුම එදාට වඩා බොහෝ සෙයින් වෙනස් වී ඇතත් කුරේ යනු කුරේමය. ඔහු නොවෙනස් මිනිසෙකි. ලකුණු සටහන් කිරීමටම පෙම්බැඳි කුරේ, එහි නව කඩඉම් නිර්මාණය කරමින්, තවත් ක්‍රිකට් ලකුණු සටහන්කරුවන් 400 කට ආසන්න පිරිසක් ක්ෂේත්‍රයට හඳුන්වා දී තිබේ. 
 
එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කුරේ විසින් කරන ලද සේවය තක්සේරු කරන්නට යාම අනුවණ කමකි. එහෙත් පළමු පෙළ සහ එක්දින තරග ආකෘති දෙක සඳහාම 80 දශකය පුරා භාවිතා කෙරුණු තනි ක්‍රිකට් ලකුණු සටහන් පොත වෙනුවට පළමු පෙළ තරග සඳහා එකකතුත් සීමිත ඕවර තරග සඳහා තවත් එකකුත් වන පරිදි ලකුණු සටහන් පොත් දෙකක් නිර්මාණය කිරීම කුරේගේ කෙරුවාවල් අතරේ ඉහළින්ම තිබේ. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට්ි ආයතනය  වෙනුවෙන් නොමිළයේම නිර්මාණය කෙරුණු කුරේගේ ලකුණු සටහන් පොත් දෙකම, දශක දෙකකට ආසන්න කාලයක් පුරා, අදටත් භාවිතා කෙරේ. ඒ සියල්ල තිබියදීත්, අවදානම් සහගත බව දැන දැනම, මීට වසර කිහිපයකට ඉහතදී ජංගම පරිගණකයෙන් ක්‍රිකට් ලකුණු සටහන් කිරීමටත් කුරේ අත තැබුවේය. මේ වන විට ඔහු එහි බොහෝ දුරක් ගමන් කර තිබේ. 
 
1970 ආරම්භ වූ අන්තර්ජාතික ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ නාමාවලියේ 6 වැන්නා ලෙසින් ක්‍රිකට් පිටියට පිවිසි කුරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරුවන්ගේ සංගමය නිර්මාණය කරමින් එහි ප්‍රථම සභාපතිවරයා ලෙසින් ද පත්විය. එහෙත්...
 
තුෂාර කුරේ යනු හුදෙක් ලකුණු සටහන්කරුවකු පමණක් නොවේ. ඕනෑම මාතෘකාවක් ගැන කතා කිරීමට ඔහු උපන් හපනෙකි. 
 
කුරේ හොඳ පාඨකයෙකි. හොඳ ශ්‍රාවකයෙකි. හොඳ ප්‍රේක්‍ෂකයෙකි. රුක්මණී දේවි, ගාමිණි ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි නැතහොත් ජෝ අබේවික්‍රම ගැන කුරේ සමග වරු ගණන් කතාකළ හැකිය. සුනිල් එදිරිසිංහ, නන්දා මාලනී නැතහොත් වික්ටර් හෝ අමරදේවගේ ගීත ගැන සාකච්ඡා කළ හැකිය. 
 
කුරේ සිටිනා තැනක කිසිවිටෙක පාළුවක් නොදැනේ. කවට කතා කීමට රුසියකු වන කුරේ ඕනෑම තරාතිරමක අයකුට කියන්නට ඇති දේ ඇඟට පතට නොදැනී කෙළින්ම කියා දමන නමුත් එහි අගට එකතු කෙරෙන සුන්දර සරදමකින් වාග් ප්‍රහාරයේ සැර බාලකර දමයි. එබැවින් කුරේ සමගින් අමනාප වූවෝ නොවෙත්. 
 
දශක හතරකට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා සමාජ 11 ක ලකුණු සටහන් පොත්, තුෂාරගේ අලංකාර අත් අකුරින් හැඩ වැඩවී තිබේ. කොළඹ රාජකීය විද්‍යායේත් නිල ක්‍රිකට් ලකුණු සටහන්කරුවා වූ කුරේ වසර කිහිපයක් තිස්සේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ නිල ලකුණු සටහන්කරුවා මෙන්ම එහි තරග විශ්ලේෂකයා ලෙසින් කටයුතු කරයි. 
 
1996 ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම 2011 ලෝක කුසලාන තරගාවලියේදීත්, 2012 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීත් ලකුණු සටහන්කරුවකු ලෙසින් ඊට දායක වූ තුෂාර කුරේ, ලකුණු සටහන් කළ ක්‍රිකට් තරග සංඛ්‍යාව 10,000 කට වැඩි මිසක් අඩු නොවේ. එනිසාම ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලියේ එහා මෙහා දිවයන ක්‍රීඩකයන් ගැන තුෂාර අතැඹුලක් සේ දනී. කිසියම් ක්‍රීඩකයකු ටෙස්ට් බෞතීස්මය ලබද්දීම ඔහුගේ ටෙස්ට් දිවිය කෙතරම් දිගු වේද යන්න කීමට කුරේට ඇත්තේ පෘතුල දැනුමකි. 
 
අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ ලකුණු සටහන්කරුවකු ලෙසින් කුරේ සතු දැනුම ඇතැම් විට තේරීම් කමිටු නිලධාරීන් පවා මවිතයට පත්කරන  සුළුය. 
 
 
තුෂාර කුරේ ටෙස්ට් ලකුණු සටහන් කිරීමේ කඩඉම් පසුකළ ආකාරය
 1 වැනි තරගය - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 1987 දී (සී.සී.සී, ක්‍රීඩාංගණය)
 25 වැනි තරගය - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 1998 දී (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය)
 50 වැනි තරගය - ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර 2002 දී (ගාල්ල ක්‍රීඩාංගණය)
 75 වැනි තරගය - ශ්්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව් අතර 2010 දී (පල්ලෙකැළේ ක්‍රීඩාංගණය)
100 වැනි තරගය - ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර 2025 දී (ගාල්ල ක්‍රීඩාංගණය)

අදහස් (0)

100 වැනි තරගයට පිවිසෙන තුෂාරගේ ක්‍රිකට් තුටුපඬුරු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.