Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 146 වැනි නිල් මහ සටන 6-7-8 එස්.එස්.සී. පිටියේදී
මහ ක්‍රිකට් තරග

146 වැනි නිල් මහ සටන 6-7-8 එස්.එස්.සී. පිටියේදී

editorial - 2025 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ‘ඩී.එස්. සේනානායක’ අනුමස්රණ පළිහ වෙනුවෙන් 146 වැනි වරටත් පවත්වනු ලබන ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය මෙම මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගයට සමගාමීව දෙවිදුහල් අතර ‘මස්ටෑන්ග්’ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික එක්දින තරගය මෙම මස 15 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  

මෙම වසරේදී රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩාය නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක රමිරු පෙරේරාට හිමිවී ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩක කවිඳු ඩයස් එහිදී සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. මෙවර තරගය ඩයලොග් ටීවී නාලිකා අංක 126 ඔස්සේ සජීවී ලෙස විකාශය කෙරේ. 

දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 145 න් තරග 36 ක ජය තමන් සතුකර ගැනීමට රාජකීය විදුහල සමත්ව ඇති අතර සාන්ත තෝමස් විදුහල ජයග්‍රහණය 35 කට හිමිකම් කියයි. තරග 74 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ. රාජකීය විදුහල අවසන් වරට නිල් මහ සටන ජය ගැනීමට සමත්ව ඇත්තේ 2023 වසරේදී වන අතර සාන්ත තෝමස් විදුහල අවසන් වරට නිල් මහ සටන ජයගෙන ඇත්තේ 2019 වසරේදීය. 

මෙවර අන්තර් පාසල් තරග වාරයේදී තරග 13 කට ක්‍රීඩා කර ඇති රාජකීය විදුහල එහිදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට සහ මීගමුව මාරිස්ටෙලා විදුහල එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලබා ඇති අතර මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල හමුවේ පූර්ණ පරාජයක් ලබා ඇත. සෙසු තරග 10 න් 5 කදී පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ඇති රාජකීයයෝ, තරග 4 කදී පළමු ඉනිමේ පරාජයන් ලබා ඇති අතර එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත්ව තිබේ. 

මේ වන විට අන්තර් පාසල් 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ තලයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින රාජකීය විදුහල, එහිදී මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියි. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ අර්ධ අවසන් පූර්ව වටයේදී ශාන්ත තෝමස් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් වීම කැපී පෙනෙන සිදුවීමකි. 

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් තිදෙනෙක් රාජකීය විදුහල් සංචිතයේ සිටින අතර නායක රමිරු පෙරේරා, උප නායක රෙහාන් පීරිස් සහ විමත් දිම්සර එම ක්‍රීඩකායෝ වෙති. ඔවුන් අතරින් රාජකීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින විමත් දිම්සර ඉනිම් 16 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 4 සමග රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යා 723 කි. 

උප නායක රෙහාන් පීරිස් ඉනිම් 17 කදී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 669 ක් රැස්කරමින් රාජකීය පිතිකරු ලැයිස්තුව තවත් ශක්තිමත් කරයි. නායක රමිරු පෙරේරා ඉනිම් 17 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 3 ක් සමග 541 ක් රැස්කරමින්ද, කඩුලු 28 ක් දවාගනිමින්ද පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දක්වමින් සිටියි. සන්දුල් අබේවර්ධන කඩුලු 23 ක්ද, රනුක මලවිආරච්චි කඩුලු 19 ක්ද බැගින් බිඳහෙළමින් රාජකීය පන්දු යැවීමේ අංශය සවිමත් කරති.  

මෙවර අන්තර් පාසල් තරග වාරයේදී තරග 13 කට ක්‍රීඩා කර ඇති සාන්ත තෝමස් විදුහල එහිදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව පූර්ණ ජයග්‍රහණයක්ද, ගාල්ල මහින්ද විදුහල හමුවේ පූර්ණ පරාජයක්ද ලබා ඇත. සෙසු තරග 11 න් 6 කදී පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ඇති සාන්ත තෝමසුවෝ, තරග 4 කදී පළමු ඉනිමේ පරාජයන් ලබා ඇති අතර එක් තරගයක් පළමු ඉනිමේ ලකුණු සම වීමෙන් නිමාවට පත්ව තිබේ. 

අන්තර් පාසල් 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ තලයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් සාන්ත තෝමස් විදුහලට එහිදී රාජකීය විදුහල හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලැබීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබා තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. 

උප නායක දිනෙත් ගුණවර්ධන ඉනිම් 18 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 757 ක් ලබා සාන්ත තෝමස් විදුහලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. අවිනාෂ් ප්‍රනාන්දු ඉනිම් 18 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 461 ක්ද, මිතිල චාල්ස් ඉනිම් 17 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 410 ක්ද රැස්කරමින් සාන්ත තෝමස් පිතිකරු ලැයිස්තුව තවත් ශක්තිමත් කරති. 

සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින ඒරන් ද සිල්වා තරග 13  කදී කඩුලු 49 ක් දවාගැනීමට සමත්ව ඇත්තේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 44 කට දවාගත් කඩුලු 8 ත් සමගිනි. අභීත් පරණවිදාන කඩුලු 39 ක්ද, කවිඳු ඩයස් කඩුලු 27 ක්ද බැගින් බිඳහෙළමින් රාජකීය පන්දු යැවීමේ අංශය සවිමත් කරති. 

රාජකීය - සාන්ත තෝමස් මහ තරගයේදී බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පසු කලෙක ශ්‍රී ලංකාව පාලනය කිරීමට වරම් ලැබූවෝද වූහ. ඩී.එස් සේනානායක (1901-1902), ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක (1927-1929) යන හිටපු අගමැතිවරුන් සාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින්ද, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල (1914-1915) මෙන්ම ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන (1925) යන මහත්වරු රාජකීය විදුහල නියෝජනය කරමින්ද මෙම එෛතිහාසික නිල් මහ සටනට ක්‍රීඩා කළහ. 

 

රාජකීය විදුහල 
රමිරු පෙරේරා (නායක), රෙහාන් පීරිස් (උප නායක), රුනුක මලවිආරච්චි, යසිඳු දිසානායක, විමත් දින්සර, තෙවිඳු වෑවල්වල, රයන් සුගතදාස, ඉසුල ගීගනගේ, අනූෂ් පොලොන්නෝවිට, යෙනුල බණ්ඩර, උදන්ත ගඟේවත්ත, කුචිල රන්මඬල, දිනෙත් වේරගොඩ, තරුල් අම්පෙමොහොට්ටි, ඛාලිඩ් රහීම්ඩීන්, සසිඳු මාපා, චනිතු කංකානම්ගේ, දුෂේන් උඩවෙල, හිරුන් ලියනාරච්චි සහ ගාමිණී පෙරේරා (පුහුණුකරු) 

 

සාන්ත තෝමස් විදුහල 
කවිඳු ඩයස් (නායක), දිනෙත් ගුණවර්ධන (උප නායක), සදෙව් සොයිසා, ඩැරීන් දියේගෝ, අභීත් පරණවිදාන, සචිත්‍ර ගුණසිංහ, යොවෙල් වර්ණකුලසූරිය, අවිනාෂ් ප්‍රනාන්දු, ඒරන් ද සිල්වා, මිතිල චාල්ස්, මහිත් රාජපක්ෂ, රෙෂෝන් සොලමන්ස්, ශනිල් පෙරේරා, නෙතුන් විතානගේ, අෂේන් ද සිල්වා, චනුත් ඇහැළියගොඩ, මිනෝන් වර්ණසූරිය, ජේඩ්න් අමරවීර, අයිමන් අන්සාරි, අරිත් අධිකාරම් සහ නිංලක පීරිස් මහතා (පුහුණුකරු)


අදහස් (0)

146 වැනි නිල් මහ සටන 6-7-8 එස්.එස්.සී. පිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.