Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ඇත්තන් වන එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා පැවැත්වී ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 36 කි. කලක් හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් පැවැති එංගලන්තයට එරෙහිව ටෙස්ට් පිටියට පිවිසි අවස්ථා 36 න් අවස්ථා 8 කදීම ජයගැනීමට ආසියාවේ පුංචි අඹ ඇටය වූ ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
වසර 42 ක් සපිරෙන ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී සහභාගි වූ තරග 18 න් අගෝස්තුවේදී තරග වැදී ඇත්තේ හතර වතාවක් පමණි.
1984 දී උගත් පාඩම අමතක කළ එංගලන්තය 1998 දීත් අගෝස්තුවේදී ශ්‍රී ලංකාවට තරගයක් දුන් නමුත් එවර ගිලගන්නට සිදුවූයේ වඩාත් තිත්ත කසායකි. එහෙත් ගෙවී ගිය වසර 26 ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරග 14 ක් ක්‍රීඩා කර ඇතත් ඒවායින් එකක්වත් අගෝස්තු මාසයේදී නොවේ.
අදින් (21 වැනිදා) ඇරඹෙන තරගාවලියේ තරග තුනම අගෝස්තු සහ සැප්තැම්බර් කාලයේදී පැවැත්වෙයි. එය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වාසිදායක තත්ත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමු වතාවට එංගලන්තයේදී තරග කළේ 1984 අගෝස්තු මාසයේදීය. එදා සිදත් වෙත්තමුණි (190) අර්ජුන රණතුංග (84), දුලිප් මෙන්ඩිස් (111 සහ 94) හා අමල් සිල්වා (102) ඉයන් බොතම් සහ බොබ් විලිස් ඇතුළු පිරිවරට එළව එළවා පහර දුන්හ. තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
1988 සහ 1991 දී, ක්‍රීඩකයන් ඇතුළට එන - එළියට යන, සංක්‍රාන්ති සමයක් ගෙවූ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී පැවති තරග දෙකම පරාජය වූවත්, 1996 දී ලෝක කුසලාන දිනාගන්නා තුරුම ශ්‍රී ලංකාවට තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් දීමට එංගලන්තය අකමැති විය. 1998 අගෝස්තුවේදී (ලන්ඩන් ඕවල් පිටියේදී) පැවැති එකම ටෙස්ට් තරගයත් 1996 ට කලින් පොරොන්දු වූ එකකි. ඒත් එදා ඕවල් පිටියේදී එංගලන්තය දණ ගැස්වූ සනත් ජයසූරිය (213), අරවින් ද සිල්වා (152) සහ මුත්තයියා මුරලිදරන් (155/7 සහ 65/9) ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 ක ජයක් කරා කැඳවාගෙන ගියහ.
අගෝස්තු මාසයේ අග භාගය වන විට එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ නිමාව ආසන්න වීම හේතුවෙන් තණතීරු බෙහෙවින් භාවිතාවට ලක්වී තිබේ. එය ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ට ඉතාමත් වාසිදායකය. අනෙක් අතට මැයි හෝ ජූනි මාසවලදී මෙන් තණතීරු කොළ පැහැයෙන් නොපෙනෙන අගෝස්තුව ශ්‍රී ලංකාවේ පිතිකරුවන්ටත් සැනසීම ගෙනෙන්නකි.
එවන් පසුබිමකදී, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (21 වැනිදා) එංගලන්තයේ මැන්චස්ටර් නුවරදී ආරම්භ වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු දල්වමින්, එංගලන්තයේ ඉදිරි පෙළ තුන් ඉරියව් ක්‍රීඩකයා මෙන්ම නායක බෙන් ස්ටෝක්ස් තුවාල ලබා සිටිති.
සුප්‍රකට ක්‍රිකට් විචාරයකු වන ජූලියන් ගයර් ප්‍රංශ ප්‍රවෘත්ති සේවයට සැපයූ වාර්තාවෙන් කීවේ ස්ටෝක්ස් තුවාල ලැබීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිරේක වාසියක් බවයි.
කලව පසුපස මස්පිඬුව ඉරීයාම හේතුවෙන් ස්ටෝක්ස් ටෙස්ට් තරගාවලියෙන්ම ඉවත් වීම එංගලන්ත කණ්ඩායමේ ධෛර්යයට බරපතළ පහරක් වී තිබේ. එහෙත් ඔහු තරගාවලිය පුරාම එංගලන්ත ක්‍රීඩකයන්ගේ කාමරයේ රැඳී සිටිනු ඇත. එකම පළමු පෙළ තරගයකදී පමණක් සරේ පිල මෙහෙයවූ ඔලී පෝප්ට එංගලන්ත ටෙස්ට් පිල බාරගැනීමට සිදුවී තිබේ.
නිත්‍ය ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලි තුවාල ලැබීම නිසා ඔහුගේ ස්ථානයට ඩැනියෙල් ලෝරන්ස් කැඳවා තිබේ. එහෙත් ඩැනියෙල් සම්මත ආරම්භක පිතිකරුවකු නොවන අතර ඔහු තරමක් නිදහසේ පන්දුවට පහර දෙමින් වේගයෙන් ලකුණු රැස්කරන්නෙකි. ඩැනියෙල්ගේ ආක්‍රමණශීලී පිතිහරඹ රටාව පිතිහරඹය එංගලන්ත පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම්ගේ ‘බස්බෝල්’ න්‍යායට ගැලපෙන්නකි.
මේ තත්ත්වය අනුව ඩැනියෙල් ලෝරන්ස්ට කසකාරයාගේ භූමිකාව පැවරෙන්නට පුළුවන. මැතිව් පොට් යළි කැඳවා තිබෙන අතර පන්දු යවන්නන් පස් දෙනකු සමගින් පිටියට පිවිසීමට එංගලන්තය අදහස් කරයි.
නායක ධනංජය ද සිල්වා වැඩි කතාබහක් නැති නමුත් හීතල ගණන්කාරයෙකි. ‘අයිස් මෑන්’ යනුවෙන් හැඳින්වෙන ධනංජයගේ කණ්ඩායම බාරව සිටින සනත් ජයසූරිය ද පරාජය බාරගැනීමට සූදානම් අයෙක් නොවේ.
“අපට හොඳ පළපුරුදු පිතිකරුවන් කිහිප දෙනෙක්ම ඉන්නවා. දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් වාගේම ධනංජය සිල්වාත් හුඟාක් ක්‍රිකට් සෙල්ලම් කරපු අය”
මෙම තරගාවලිය එංගලන්ත ගිම්හානයේ අග භාගයේදී අපට ලැබිලා තියෙන එක ඉතාමත් හොඳයි. ඒක ගිම්හානය මුලදී තියෙන තත්ත්වයන්ට වඩා අපේ (ශ්‍රී ලංකාවේ) තියෙන ස්වභාවයට හරිම කිට්ටුයි” යයි සනත් ජයසූරිය ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවියට පවසා තිබිණ.
යෝක්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් පළමු පෙළ තරග කිහිපයක් ක්‍රීඩා කළ විශ්ව ප්‍රනාන්දු හොඳ දස්කම් පෙන්වා තිබිණ. ටෙස්ට් කණ්ඩායමේ පිතිකරුවෝ ලකුණු අතර සිටිති. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසි ද නැතුවා නොවේ.
මාස කිහිපයක සිටම සීමිත ඕවර තරග වලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික මට්ටමේ පළමු පෙළ තරග අහේනියකින් පසුවෙයි. ටෙස්ට් තරගාවලියට තරග 3 ක් ඇතුළත් වන නමුත් ශ්‍රී ලංකා පිලට තිබුණේ එකම පුහුණු තරගයකි. එයින් ද ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට මුහුණ දුන්නේය.
වසර 12 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන දිමුත් කරුණාරත්න සහ වසර 15 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටි ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාටම මෙය ඔවුන්ගේ අවසන් එංගලන්ත සංචාරය විය හැකිය. එබැවින් මේ දෙදෙනාගෙන්ම සුවිශේෂී යමක් අපේක්‍ෂා කළ හැක්කේ ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණතම පිතිකරුවන් හැම දෙනාම පාහේ සිය අවසන් එංගලන්ත සංචාරයේදී මතක හිටින යමක් කළ අය බැවිනි. සිදත් වෙත්තමුණි සහ දුලිප් මෙන්ඩිස්ගේ සිටම ඔවුන්ගේ ලයිස්තුව දිගහැරෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියකට මුහුණ දෙන්නේ වසර 8 කට පසුවය. 2016 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක් ලෙසින් පරාජය විය. තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පස්වරු 3.30 ට ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, කුෂල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක
එංගලන්ත කණ්ඩායම
ඔලී පෝප් (නායක), ඩැනියෙල් ලෝරන්ස්, බෙන් ඩකට්, ජෝ රූට්, හැරී බෲක්, ජැමී ස්මිත්, ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන්, මැතිව් පොට්ස්, මාක් වුඩ් සහ ෂොයිබ් බෂීර්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.