Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අත්වැරදීමක් නැතිව 12 දෙනාගේ වටයට යති
ශ්‍රී ලංකා - නෙදර්ලන්ත තරගය

අත්වැරදීමක් නැතිව 12 දෙනාගේ වටයට යති

editorial - 2022 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව මේ යයි කදිමට පෙන්වා දුන් කුසල් මෙන්ඩිස් (79) ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජීලෝන්ග්හිදී අද (20 වැනිදා) පැවැති තරගයේදී නෙදර්ලන්තය ලකුණු 16 කින් පරාජය කරමින් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්හ. 

තරගාවලියේ ආරම්භක තරගයේදී, නැමීබියාව හමුවේ ලකුණු 108 කට දැවී යමින් ලකුණු 55 ක දරුණු පරාජයක් ලැබූ නමුත් ඉන් පසුව පැවැති තරග දෙකේදීම පූර්ණ වෘත්තිකයන් ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම, ශල්‍යකර්මයකටවන් වෙදැදුරන් පිරිසක් සේ, කිසිම අත්වැරදීමක් වෙන්නට ඉඩ නොතබා තරග දෙකම ජයගනිමින් ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් ශ්‍රී ලංකාව ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්තේය. සිය 9 වැනි විස්සයි-20 අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස්ට විශිෂ්ට සහයෝගක් දුන් චරිත් අසලංක සහ භානුක රාජපක්‍ෂ මෙම ශක්තිමත් ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. 

8 වැනි ඕවරය නිමාවේදී ශ්‍රී ලංකාවේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 කට 42 ක් ලෙසිනි. එහෙත් එතැන් සිට සෑම ඕවර දෙකකටම වරක් 60/2, 78/2, 96/2, 119/3, 138/4 සහ 162/6 ක් ලෙසින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙනස් විය. 

මෙන්ඩිස්ගේ පන්දු 44 ඉනිම, හයේ පහර 5 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. ඔහුගේ හයේ පහර 5 ම හතරේ සීමාව වඩාත් ආසන්නයෙන් පිහිටි ලෝන්ග් ලෙග් කලාපයට ඉහළින් විය. එය සැලසුම් සහගත ආක්‍රමණයකි. 

මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක දෙදෙනා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මොහොතක, පෝල් වැන් මීකර්න් පිට පිටම යැවූ පන්දු දෙකකින් පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කළේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පිල හදිසියේම අමාරුවේ වැටුණේය. වැන් මීකර්න්ගේ කඩුලු ත්‍රිත්වය වැළැක්වූ චරිත් අසලංක, එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමට ධෛර්යයත් ජවයත් එන්නත් කරමින් ශ්‍රී ලංකා ඉනිම පිළිසකර කිරීම ආරම්භ කළේය. 

තම තුන්වැනි හයේ පහරින් අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් ලකුණු 100 කඩයිමෙන් එපිටට ශ්‍රී ලංකා කණ්ඩායම තල්ලු කරන අතරේ භානුක රාජපක්‍ෂ සිය සුපුරුදු පිතිහරඹ රටාවට අවතීර්ණ වෙමින් සිටියේය. භානුකට මෙන්ම චරිත් අසලංකටත් වඩාත් දිගු ඉනිම සඳහා යාමේ පහසු හැකියාවක් තිබුණද දෙදෙනාම කළේ ලකුණු අතර සිටි, ස්ථාවර පිතිකරුවා වූ කුසල් මෙන්ඩිස්ට කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව දෙමින් තම තමන් ආක්‍රමණයට පිවිසීමයි. 

ප්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනකු තුවාල ලබා කණ්ඩායමෙන් ඉවත්ව සිටියද, ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 163  ක ඉලක්කයක් කරායාම නෙදර්ලන්තයට පහසු නොවීය. 

ළහිරු කුමාර යැවූ දෙවැනි ඕවරයේදී ලකුණු 9 ක් ලබාගත් නමුත් සෙසු පන්දු යවන්නෝ නෙදර්ලන්ත පිතිකරුවන් පාලනය කරගෙන සිටියහ. ආරම්භක පිතිකරු මැක්ස් ඕ’ඩාවුඩ් ඕවර 20 ම පිටියේ සිටිමින් හුදෙකළා සටනක නිරත වූ නමුත්, වනිඳු හසරංග (28/3) සහ මහීෂ් තීක්‍ෂණ (32/2) දෙදෙනාගේ පන්දු යැවීමත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමත් හමුවේ නෙදර්ලන්තය අසරණ විය. 

හසරංග සහ තීක්‍ෂණ දෙදෙනාගේ පන්දු යැවීම හේතුවෙන්, වරෙක කඩුලු 4 කට ලකුණු 100 ක් ලෙසින් සටහන් වූ නෙදර්ලන්ත ලකුණු පුවරුව, ඕවර 2.3 ක් ඇතුළත කඩුලු 8 කට 109 ක් ලෙසින් සටහන් වූයේය. 

තරගය ජයගැනීමට නම් අවසන් පන්දු 18 න් ලකුණු 54 ක් අවශ්‍යව තිබුණද නෙදර්ලන්තය සතුව පැවැතියේ කඩුලු දෙකකි. එතැන් සිට මියෙම්වා - රැකෙම්වා පිතිහරඹයක නිරත වූ මැක්ස් ඕ’ඩාවුඩ් අවසන් ඕවර තුනේදී ලබාගත් ලකුණු කිහිපයට අතිරේක ලකුණු වැඩි ප්‍රමාණයක් ද එකතු වූයේය. 

මැක්ස් ඕ’ඩාවුඩ්ගේ පන්දු 53 ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සමත්විත වූ නමුත් 146 නෙදර්ලන්ත ඉනිමේ නිමාව විය. 

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව 
 
පැතුම් නිස්සංක - ප.වැන් මීකර්න් 14
කුසල් මෙන්ඩිස් - ඇ.වැන්ඩර් මර්වර් ප.වැන්ඩර්ගෞටන් 79
ධනංජය ද සිල්වා - ක.මු.කළා ප.වැන් මීකර්න් 0
චරිත් අසලංක - ඇ.එඩ්වඩ්ස් ප.බස් ඩි’ ලීඩි 31
භානුක රාජපක්‍ෂ - ඇ.ටිම් ප්‍රින්ගල් ප.බස් ඩි ලීඩි 19
දසුන් ශානක - ඇ.ඇකර්මන් ප.ෆ්‍රෙඩ් ක්ලාසන්  8
වනිඳු හසරංග - නොදැවී  5
චාමික කරුණාරත්න - නොදැවී  2
අතිරේක 4
එකතුව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී  162
 
කඩුලු වැටීම : 
1-36(පැතුම් නිස්සංක), 2-36(ධනංජය ද සිල්වා), 3-96(චරිත් අසලංක), 4-130(භානුක රාජපක්‍ෂ), 5-151(දසුන් ශානක), 6-157(කුසල් මෙන්ඩිස්)
 
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්‍ෂණ සහ ළහිරු කුමාර
 
පන්දු යැවීම : 
ෆ්‍රෙඩ් ක්ලාසන්  : 4-0-34-1
ටිම් ප්‍රින්ගල් : 3-0-22-0
රිලෝෆ් වැන්ඩර් මර්වර් : 3-0-16-0
පෝල් වැන් මීකර්න් : 4-0-25-2
බස් ඩි ලීඩි : 3-0-31-2
ටිම් වැන්ඩර් ගෞටන් : 3-0-31-1
 
නෙදර්ලන්තය
 
මැක්ස් ඕ’ඩාවුඩ් - නොදැවී  71
වික්‍රම්ජිත් සිං - ඇ.දසුන් ශානක ප.තීක්‍ෂණ 7
බස් ඩි ලීඩි - ඇ.මෙන්ඩිස් ප.ළහිරු කුමාර 14
කොලින් ඇකර්මන් - ඇ. සහ ප.හසරංග 0
ටොම් කූපර් - ප.තීක්‍ෂණ 16
ස්කොට් එඩ්වඩ්ස් - ප.බිනුර ප්‍රනාන්දු 21
ටිම් ප්‍රින්ගල් - දුවද්දී දැවී ගියා 2
ටිම් වැන්ඩර් ගෞටන් - ප.හසරංග 0
ෆ්‍රෙඩ් ක්ලාසන් - ප.හසරංග 3
පෝල් වැන් මීකර්න් - දුවද්දී දැවී ගියා 0
රුලොෆ් වැන්ඩර් මර්වර් - නොදැවී  0
අතිරේක 12
එකතුව ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී  146
 
කඩුලු වැටීම : 
1-23(වික්‍රම්ජිත් සිං), 2-40(බස් ඩි ලීඩි), 3-47(කොලින් ඇකර්මන්)ථ 4-72(ටොම් කූපර්), 5-100(ස්කොට් එඩ්වඩ්ස්), 6-105(ටිම් ප්‍රන්ගල්), 7-105(ටිම් වැන්ඩර් ගෞටන්), 8-109(ෆ්‍රෙඩ් ක්ලාසන්), 9-123(පෝල් වැන් මීකර්න්)
 
පන්දු යැවීම : 
ධනංජය ද සිල්වා : 1-0-05-0
ළහිරු කුමාර : 4-0-28-1
බිනුර ප්‍රනාන්දු : 4-0-33-1
මහීෂ් තීක්‍ෂණ : 4-0-32-2
වනිඳු හසරංග : 4-0-28-3
චාමික කරුණාරත්න : 2-0-11-0
දසුන් ශානක : 1-0-07-0
 
තරගයේ වීරයා - කුසල් මෙන්ඩිස්

අදහස් (0)

අත්වැරදීමක් නැතිව 12 දෙනාගේ වටයට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.