Last Update  :  2025-04-21 20:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අතුරු කමිටුව තියෙනතුරු තහනම්

අතුරු කමිටුව තියෙනතුරු තහනම්

editorial - 2023 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද අතුරු කමිටුව තියෙන තුරු ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් නොකරන බව අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය අවධාරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා කියයි. ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පෙරේදා (21 වැනිදා) පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමට නිරීක්‍ෂකයකු වශයෙන් පමණක් සහභාගි වූ ශම්මි සිල්වා මහතා, ඊයේ (22 වැනිදා) පස්වරුවේදී කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී එසේ කියා සිටියේය. 

“මේක තනිකරම දේශපාලනික ඇඟිලි ගැසීම් කියලා තමයි ඒ ගොල්ලන් කිව්වේ” යයි ශම්මි සිල්වා මහතා පැවසීය. 

ශ්‍රී ලංකාවට පනවා ඇති අන්තර්ජාතික තහනම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මෙම රැස්වීමට සහභාගි වූයේ නිරීක්‍ෂකයකු වශයෙනි. එබැවින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම හැර, තීරණ ගැනීමේදී හෝ මත විමසීමකදී ඒ සඳහා කිසිම ආකාරයේ මැදිහත් වීමකට ශම්මි සිල්වා මහතාට අවසර නොතිබිණ. 

“ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ගැන විනාඩි 45 ක් විතර ඒ ගොල්ලන් කතාකළා”

“මේ සාකච්ඡාව පටන් ගත්තේ අයි.සී.සී. සභාපති ග්‍රෙග් බාක්ලේ. එයා නවසීලන්තයේ රග්බි ක්‍රීඩාවටත් සම්බන්ධයි. ක්‍රිකට් විතරක් නෙමේ රග්බිත් මේගොල්ලන් තහනම් කරගෙන තියෙනවා කියලා එයා කිව්වා. එතකොට එතන හිටිය නීති අංශයේ කෙනෙක් කිව්වා ශ්‍රී ලංකාව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙනුත් තහනමකට ලක්වෙලා හිටියයි කියලා”

“ශ්‍රී ලංකාවේ තවත් ක්‍රීඩා දෙකක්ම දේශපාලන බලපෑම් නිසා තහනම් වෙලා තියෙනවා කියලා එතන හිටපු අනෙක් සාමාජිකයෝ කිව්වා” යයි ද ශම්මි සිල්වා මහතා පැවසීය. 

මෙම අවස්ථාවේදී කරුණු දැක්වීමට ඉදිරිපත් වූ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපතිවරයකු වන ඉම්රාන් කවාජා (සිංගප්පූරු ජාතිකයෙකි) මහතා පවසා ඇත්තේ තමන් ද ශ්‍රී ලංකාවට ගොස් ක්‍රීඩා ඇමතිවරයා හමුවූ බවත්, අන්තර්ජාතික ක්‍රීඩා සංගම් වල කටයුතු සිදුවන ආකාරය ගැන ඔහුට වැටහීමක් නැති බව තමන්ට ඒත්තු ගිය බවත්ය. පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිගමනය වී ඇත්තේ මෙම අවස්ථාවේදී දැඩි තීරණයක් නොගතහොත් ඉදිරියේදී අනෙක් රටවල ක්‍රිකට් ආයතන කෙරෙහිත් මෙවැනිම දේශපාලනික බලපෑම් ඇතිවිය හැකි බවයි. 

සිම්බාබ්වේ ක්‍රිකට් සංගමයට (පසුව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය) වෙත එරට රජයෙන් කරන ලද බලපෑම් හේතුවෙන් 2019 ජූලි මස 18 වැනිදා සිම්බාබ්බේ ක්‍රිකට් ආයතනය ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තහනම් කරන ලදි. අන්තර්ජාතික තහනමකට ලක්වූ පළමු වැනි ටෙස්ට් ක්‍රීඩා කරන රට වූයේ ද සිම්බාබ්වේය. 
තහනම නිසා අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් පිරිනැමෙන අරමුදල් කපාහරින ලද අතර අන්තර්ජාතික තරග වලට සහභාගි වීමේ අවස්ථාවද සිම්බාබ්වේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් වලට අහිමි වී ගියේය. මෙම අරමුදල් කපාහැරීම හේතුවෙන් ක්‍රීඩකයන්ගේ වැටුප් ගෙවාගත නොහැකි වීම නිසා සිම්බාබ්වේ දේශීය තරගාවලිය පවා නතර කිරීමට සිදුවිය. 

එවකට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වූ ඉන්දීය ජාතික ශෂාන්ක් මනෝහර්, ප්‍රධාන විධායක මානු සව්නි, සිම්බාබ්වේ ක්‍රිකට් සභාපති තවෙන්ග්වා මුකුලානි, සිම්බාබ්වේ ක්‍රීඩා අමාත්‍ය කර්ස්ටි කොවෙන්ටි්‍ර, සිම්බාබ්වේහි රාජ්‍ය ආයතනයක් වූ ක්‍රීඩා හා විනෝදාංශ කමිටුවේ සභාපති ජෙරල්ඞ් ලොත්ස්වා යන සියලු දෙනා එක්ව පැවැති රැස්වීමකින් අනතුරුව, තහනමෙන් මාස තුනකට පසු, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිම්බාබ්වේට පනවා තිබූ තහනම ඉවත් කර පූර්ණ සාමාජිකයකු ලෙස නැවත ස්ථාපිත කරනු ලැබිණ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නියම කරන ලද කොන්දේසි වලට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය “කොන්දේසි විරහිතව අනුගතවන බවට” මෙම රැස්වීමේදී එකඟතාව පළකරන ලදි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසූයේ වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය අහිමි වීම හේතුවෙන්, සංචාරක හෝටලවල කාමර වෙන්කරවාගැනීම් අවලංගු කිරීම නිසා, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඩොලර් මිලියන 100 කට වැඩි පාඩුවක් සිදුවන බවද ශම්මි සිල්වා මහතා පැවසීය. 


ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (1)

අතුරු කමිටුව තියෙනතුරු තහනම්
  • A Sad Sri Lankan Fan Friday, 24 November 2023 12:44 PM

    විගණකාධිපති වාර්තාවෙන් පෙන්වා දී ඇති පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කර ඇති දූෂණ හා අයථා ක්‍රියාමාර්ග ගැන සොයා බැලීමට පාර්ලිමේන්තුව උත්සාහ කරන විට, දූෂිත විධායකයින් එම ක්‍රියාව මැදිහත්වීමක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවන ලෙස අයිසීසීයෙන් ඉල්ලා සිටී. SLC අත්හිටුවීමට ඉඩ දෙන්න. මෙම දූෂිත සහ අකාර්යක්ෂම විධායකයින් යටතේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් කෙතරම් පහත වැටී ඇත්ද යත්, ඕවර 50 සහ 20 ටී ලෝක කුසලාන සඳහා සලකා බැලීමට සුදුසුකම් ලැබීමේ වටයට යාමට සිදුවී ඇත.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.