Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් කණ්ඩායම් දෙකම සූදානම්

ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් කණ්ඩායම් දෙකම සූදානම්

editorial - 2023 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

චීනයේ ‘‘හංජෝ’’ නුවරදී සෙනසුරාදා (23) නිල වශයෙන් ආරම්භ වන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් (කාන්තා) කණ්ඩායම අනිද්දා (20) දිවයිනෙන් පිටත්ව යයි. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල විස්සයි - 20 ක්‍රිකට් කාන්තා හා පිරිමි ඉසව් දෙකකින් සමන්විතය.


19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ලබන සෙනසුරාදා සිට ලබන ඔක්තෝබර් 8 වැනිදා දක්වා නිල වශයෙන් පැවැත්වෙන බව ප්‍රකාශ වී තිබෙන අතර කෙසේ වුවත් හෙට (19) සිට එහි ක්‍රිකට් (කාන්තා), පාපන්දු, වෙරළ වොලිබෝල්, වොලිබෝල් යන ක්‍රීඩා ඉසව් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

මේ අතර ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් (පිරිමි) තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වාය. ඒ සඳහා සහන් ආරච්චිගේ ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් (පිරිමි) කණ්ඩායම සැප්තැම්බර් 29 වැනිදා ‘‘හංජෝ’’ නුවර බලා පිටත්ව යාමට නියමිතය.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් (කාන්තා) කණ්ඩායම සිය පළමු තරගයට සහභාගීවීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 22 වැනිදාය. රටවල් නවයක කණ්ඩායම් එහිදී තරග වැදීමේදී ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පාකිස්ථානය හා බංග්ලාදේශය කෙළින්ම පෙර අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරග වදිති.

ක්‍රිකට් පිරිමි ඉසව්වේ තත්වයත් මෙයම වන අතර ඊට රටවල් 14 ක් තරග වැදීමේදී ඉහත රටවල් හතර කෙළින්ම අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරග වැදීමට නියමිතය. කාන්තා හා පිරිමි ඉසව් දෙකේදීම ඒ සඳහා ඔවුන්ගේ ප්‍රතිවාදීන් (පිරිමි ඉසව්ව) තීරණය වන්නේ රටවල් නවයක් අතර පැවැත්වෙන මූලික වටයේ තරග නිමාවෙනි.

ක්‍රිකට් (කාන්තා) ඉසව්වේ මූලික පිටු දැකීමේ තරග වටයට ඉන්දුනීසියාව, මොන්ගෝලියාව, හොංකොං හා මලයාසියාව සහභාගී වෙති.

ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් විස්සයි - 20 ඉසව්ව හඳුන්වා දීම වසර 2010 ‘ගුඇංෂු’ තරගාවලියේදී සිදු කෙරුණි. එහිදී ශ්‍රී ලංකාවට අත්වූයේ සිව්වැනි ස්ථානයයි. කෙසේ වුවත් 2014 ‘ඉංචියොන්’ ක්‍රීඩා උළෙලට අවසන් වරට ක්‍රිකට් ඉසව්ව ඇතුළත් වීමේදී ශ්‍රී ලංකාව අෂාන් ප්‍රියංජනගේ නායකත්වයෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

එහිදී ශ්‍රී ලංකාව ක්‍රිකට් කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කම ලබා තිබේ. ඊට මෙවර කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන චමරි අතපත්තු ද ඇතුළත්ව සිටියාය. ශ්‍රී ලංකාව 2014 ආසියානු ක්‍රීඩා ක්‍රිකට් (පිරිමි) රන් පදක්කම දිනා ගත්තේ අවසන් මහ තරගයේදී ඇෆ්ගනිස්ථානය ලකුණු 68කින් පරාජය කරමිනි.

ආසියාවේ ක්‍රිකට් ප්‍රබලයන් වන සිව් රට හැරෙන්නට එහි විස්සයි - 20 ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුව කණ්ඩායම් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නිර්දේෂ කර ගැනේ. 27 හැවිරිදි තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයකු වන සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමේදී ඔහු මේ වනවිට අන්තර්ජාතික විස්සයි - 20 තරග 51කදී කඩුලු 27ක් හා ලකුණු 650ක් රැස් කර ඇත. ඔහු වමත් පිතිකරුවකු වුවත් පන්දු යැවීමේදී දකුණත් පිට දඟ පන්දු යවන්නෙකි.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අත්දැකීම් පිරිපුන් 33 හැවිරිදි නායිකාව ආසියානු ක්‍රීඩා උළෙල තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ද නායිකාවයි. ඇගේ විස්සයි - 20 තරග අත්දැකීම් තරග 119ක් දක්වා දිව යයි. ඒ ලකුණු 2598ක් හා කඩුලු 39ක් බිඳ හෙළමිනි.

ඉතා නුදුරේ දී සිදුවූ එංගලන්ත තරග සංචාරයේදී පළමු වතාවට එරටදීම එංගලන්තය තරග 2–1කට පරාජය කරමින් විස්සයි - 20 තරගාවලිය ජය ගැනීමට ඇගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමත් විය. හංජෝ නුවර දී ආසියානු ක්‍රීඩා රන් පදක්කම දිනා ගැනීමේ සටනේදී එම පන්නරය ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඉහළින්ම වැදගත් වනු ඇත.

 

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා සංශෝධිත පිරිමි ක්‍රිකට් කණ්ඩායම:-
සහන් ආරච්චිගේ (නායක), ෂෙවෝන් ඩැනියල්, ලසිත් කෘෘස්පුල්ලේ, අෂේන් බණ්ඩාර, අහන් වික්‍රමසිංහ, ළහිරු උදාර, රවිඳු ප්‍රනාන්දු, රනිත ලියනාරච්චි, නුවනිඳු ප්‍රනාන්දු, සචිත ජයතිලක, විජයකාන්ත් වියස්කාන්ත්, නිමේෂ් විමුක්ති, ළහිරු සමරකෝන්, නුවන් තුෂාර සහ ඉෂිත විජේසුන්දර.

පුහුණුකරු - අවිශ්ක ගුණවර්ධන, කලමණාකරු - විනෝදන් ජෝන්

 

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා සංශෝධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම:-
චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්‍ෂි සිල්වා, කාව්‍යා කාවින්දි, ඉමේෂා දුලානි, අනුෂ්කා සංජීවනී, ඕෂදී රණසිංහ, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේෂිකා ප්‍රබෝදනී, හසිනි පෙරේරා, කෞෂිණි නිත්‍යාංගනා, අචිනි කුලසූරිය සහ ඉනෝෂි ප්‍රනාන්දු.
පුහුණුකරු රොමේෂ් රත්නායක, කළමනාකරු නිෂාන්ත ද සිල්වා යන මහත්වරු.


අදහස් (0)

ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් කණ්ඩායම් දෙකම සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.