Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ඝනිස්ථානය සහ නවසීලන්තය අතර ඉන්දියාවේ නොයිදා නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ එකම ටෙස්ට් තරගය, අඩුතරමේ කාසියේ වාසිය උරගා බැලීමකින් හෝ තොරව, සම්පූර්ණයෙන්ම අතහැර දමන ලදි. ඉන්දියාවේ නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි නොයිදා නුවරට දිගින් දිගටම පැවැති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පළමු දින හතරේදීම තරගය ආරම්භ කළ නොහැකි වූ අතර අවසන් දිනය වූ අදත් (13 වැනිදා) කාසියේ වාසිය නොබලාම තරගය අතහැර දැමීමට සිදුවිය.
වසර 147 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරා මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 2548 කි. ඒවායින් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමා ඇති තරග සංඛ්‍යාව 8 කි. එහෙත් විසි එක්වැනි සියවසේදී (වසර 2000 න් පසුව) එවන් ඉරණමකට ලක්වූ පළමු ටෙස්ට් තරගය වන්නේ ඇෆ්ඝනිස්ථානු - නවසීලන්ත තරගයයි.
බ්‍රහස්පතින්දා රාත්‍රියේත් වට ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය තෙතබරිතව තිබූ නමුත් සාම්ප්‍රදායිකව අද පෙරවරුවේදීත් ක්‍රීඩාංගණය පරීක්ෂා කරන ලදි. එහෙත් තරගය පැවැත්වීම කළ නොහැකි දෙයක් බව ඒත්තුයාමෙන් පසුව, අද පෙරවරු 8.45 ට පමණ තරගය අතහැර දමන ලදි.
තරගය පැවැත්වීමට නියමිත කාලය අතරතුර (පළමු දින දෙකේදී) වර්ෂාව පැවැතියේ වරින් වරය. එහෙත් නොයිදා හි ශහීඩ් විජේසිං පතික් ක්‍රීඩාංගණයේ ජලාපවාහන පද්ධතියේ පැවැති දුර්වලතා නිසා ජලය බැසයාම නිසි පරිදි සිදුනොවිණ. එහි අහිතකර ප්‍රතිඵලය වූයේ ක්‍රීඩාංගණයම තෙතබරිත මඩ ගොහොරුවක් වීමයි.
තරගයට පෙර දිනයේදී පුහුණුවීම් කරමින් සිටියදී ඇෆ්ඝනිස්ථානු පිතිකරු ඊබ්‍රහිම් සද්රාන් ලිස්සා වැටීම නිසා ඔහුගේ වළලුකර උලුක්කු කරගත්තේය.
මෙම තරගය පැවැතියේ නම් එය ඇෆ්ඝනිස්ථානය සහ නවසීලන්තය අතර පැවැති මුල්ම ටෙස්ට් තරගය වන්නට තිබිණ. එහෙත් දින පහක් පුරා හෝටලයට වී සිටි කණ්ඩායම් දෙක අද දිනයේ නවදිල්ලි නුවරින් දෙපැත්තකට පියාසර කරති.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීම සඳහා නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත්ව එන අතර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියකට සහභාගි වීම සඳහා ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම සාජා නුවර බලා පියාසර කරයි.
1998 දෙසැම්බර් 20 වැනිදා, එකිනෙකට කිලෝමීටර 13,000 ක් ඈතින් පිහිටි පාකිස්තානයේ ෆයිස්ලාබාද් සහ නවසීලන්තයේ ඩනෙඩින් නගර දෙකේදීම, එකම පන්දුවක් හෝ නොයවා ටෙස්ට් තරග දෙකක්ම අතහැර දමන්නට සිදුවිය. එහෙත් වසර 2000 න් මෙපිට එවැන්නක් සිදුවූ පළමු දිනය අදයි. (2024 සැප්තැම්බර් 13 වැනිදා)
ටෙස්ට් ඉතිහාසයේදී එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලද ටෙස්ට් තරග
■ 1890 - එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර මැන්චෙස්ටර් නුවරදී
■ 1938 - එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර මැන්චෙස්ටර් නුවරදී
■ 1970 - එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න් නුවරදී
■ 1989 - නවසීලන්තය සහ පාකිස්තානය අතර ඩනෙඩින් නුවරදී
■ 1990 - බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර ජෝර්ජ්ටවුන් නුවරදී
■ 1998 - පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර ෆයිස්ලාබාද් නුවරදී
■ 1998 - නවසීලන්තය සහ ඉන්දයාව අතර ඩනෙඩින් නුවරදී
■ 2024 - ඇෆ්ඝනිස්ථානය සහ නවසීලන්තය අතර නොයිදා නුවරදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.