Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉතිහාසය නිර්මාණය කිරීමේ කඩඉමක
කාන්තා ආසියානු කුසලාන 2024

ඉතිහාසය නිර්මාණය කිරීමේ කඩඉමක

editorial - 2024 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බලාපොරොත්තුව ධෛර්යයේ බලකණුවයි. ධෛර්යය විශ්වාසනීයත්වයේ ශක්තියයි. විශ්වාසනීයත්වය ජයග්‍රහණයේ පදනමයි. මේ සියලු කාරණා සම්පිණ්ඩනය කළ කල්හි චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිටින්නේ ඉතිහාසය නිර්මාණය කිරීමේ කඩඉම පෙනෙන ඉසව්වෙනි. තවත් ආකාරයකට කිවහොත් කාන්තා ආසියානු කුසලානයට අත පොවන දුරිනි.

ඒත් මේ ක්‍රිකට් ක්‍රීඩාවයි. ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. එහෙත් චමරි අතපත්තු ඇතුළු කණ්ඩායමට අත්වැරදීමක් ගැන සිතන්නට අවකාශයක් නොමැත. රුමේෂ් රත්නායකගේ ගුරුහරුකම් ඇතිව පිටියට පිවිසෙන චමරිලාට, කණ්ඩායම් කාමරය ඇතුළේ අසුබවාදී දෙයක් ගැන කතාකරන්නට වත් රුමේෂ්ගෙන් අවසරයක් ලැබෙන්නේත් නැත. 

“අපි උත්සාහ කරන්නේ තරගයක තියෙන තීරණාත්මක අවස්ථා කිහිපය දිනාගන්නයි. හැම තරගයකදීම ඒ වගේ අවස්ථා කීපයක් එනවා. ඒ අවස්ථාවලින් වැඩිම අවස්ථා ගණනක් දිනාගන්නා කණ්ඩායම එදාට තරගය දිනනවා” යයි රුමේෂ් රත්නායක මහතා පැවසීය. 

තරගයකට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 11 දෙනා ගතහොත් ඔවුන්ගෙන් 8 ක් හෝ 9 ක් පළපුරුදු ක්‍රීඩිකාවෝ වෙති. එහෙත් කිසිවකු අපේක්‍ෂා නොකරන ක්‍රීඩිකාවට තරගයක් වෙනස් කළ හැකිය. ශ්‍රී ලංකා පුහුණුකරුවා සොයන්නේ එවන් ක්‍රීඩිකාවකි. 

“කණ්ඩායම මොකක් වුණත්, අපේ බලාපොරොත්තුව හැම තරගයක්ම දිනන්නයි. අපි තරග එකින් එක දිනලා ඉහළට යන්න ඕනේ... අවසන් පූර්ව තරගය දාට ඒ ගැන බලාගන්න පුළුවන්” යයි ද රුමේෂ් රත්නායක මහතා පැවසීය. 

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී හෙට (19 වැනිදා) ආරම්භ වන කාන්තා ආසියානු කුසලාන තරගාවලියට චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිවිසෙන්නේ එවන් පසුබිමක සිටිමිනි. ඇරත් පසුගිය සිව් වතාවේදී මෙන් නොව, 2024 කාන්තා ආසියානු කුසලාන තරගාවලිය විස්සයි-20 ආකෘතියෙන් පැවැත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මහත් විශ්වාසනීයත්වයට හේතු කාරණාවක් වී තිබේ. 

විස්සයි-20 අන්තර්ජාතික කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ආසියානු කලාපයේදී ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව පමණි. කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ඉන්දියාව 3 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේත් සිටිති. එහෙත් 1 සහ 6 අතර සිටින්නේ ඉන්දියාව පමණි. මෙම තත්ත්වය මත 2024 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට තර්ජනයක් ඇත්නම් ඒ ඉන්දියාවෙන් සහ ශ්‍රේණිගත ලයිස්තුවේ 8 වැනි ස්ථානයේ සිටින පාකිස්තානයෙනි. 

ආසියාවේ කෙළිකාරියන් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශය හැරුණු විට අවශේෂ කණ්ඩායම් ලෙසින් මෙම තරගාවලියට ඉදිරිපත් වන මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය සහ නේපාලය ද අවතක්සේරු කිරීම නොවටී. 

තරගාවලියේ පෙළගැස්ම අනුව ඉන්දියාව සහ පාකිස්තානය එකම කාණ්ඩයක සිටින බැවින් ශ්‍රී අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තිබේ. අවසන් මහ තරගයේදී එය කාගේ හෝ අවස්ථාව විය හැකිය. 

තරගාවලියේ පළමු තරගය හෙට (19 වැනිදා) පස්වරු 2.00 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය අතර පැවැත්වේ. දෙවැනි තරගය හෙට රාත්‍රී 7.00 ට ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්ම තරගය සෙනසුරාදා (20 වැනිදා) රාත්‍රී 7.00 ට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙයි. 

(ඡායාරූපය - ළහිරු හර්ෂණ)


අදහස් (2)

ඉතිහාසය නිර්මාණය කිරීමේ කඩඉමක
  • Indrani Wijesinghe Friday, 19 July 2024 10:34 AM

    අතිප්‍රවීණ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාට සහ අපේ ක්‍රිකට් රැජිණ චමරි අතපත්තු ප්‍රමුඛ කාන්තා ක්‍රීඩිකාවන් සියළු දෙනාට විශ්වයේ අනන්ත ශක්තියේ බලයෙන් කුසලානය දිනුමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා...! චමරි අතපත්තු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වේවා...! මගේ පැතුම එයයි... ජයවේවා...

    Reply 0       0

    Nimal Fernando Saturday, 20 July 2024 06:39 PM

    ශ්‍රී ලංකා කණ්ඩායමට සුබපැතුම්..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.