Last Update  :  2024-12-28 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියානුවන්ගේ අත්වැරදීමක අවාසිය
මෙල්බර්න් ටෙස්ට් තරගය

ඉන්දියානුවන්ගේ අත්වැරදීමක අවාසිය

editorial - 2024 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් තරගයක් වෙනස් වීමට ගතවන්නේ සුළු වේලාවකි. නැතහොත් සුළු අත්වැරැද්දකි. 

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (27 වැනිදා) ඕස්ට්‍රේලියානුවෝ සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 474  ලබා ගත්හ. ඊට පිළිතුරු වශයෙන් කඩුලු 2 කට ලකුණු 153 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යශස්වී ජයිස්වාල් (82) සහ විරාට් කෝලි (36) ලකුණු 102 ක අඛණ්ඩ සම්බන්ධතාවක් පවත්වා තිබිණ. 

ජයිස්වාල් තවත් ලකුණක් ලබාගැනීමට ගත් උත්සාහයේදී පන්දුව අහුලාගත් ඕස්ටේ්‍රලියානු නායක පැට් කමින්ස් එය කඩුලු රකින්නා වෙත යොමු කළ හෙයින් ජයස්වාස් ශතකය පෙනි පෙනී දුවද්දී දැවී ගියේය. ඒ සමගම විරාට් කෝලි සහ ආකාශ් දීප් දෙදෙනාත් දැවී ගිය බැවින් ලකුණු 11 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටිණ. ඉන්දියානුවෝ අමාරුවේ වැටුණහ. 

තරගයේ දෙවැනි දිනය වූ අද සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටි නමුත් ඕස්ට්‍රේලියානුවෝ සිය ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 310 ක් ඉදිරියෙන් සිටිති. තරග 5 කින් සමන්විත බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලිය මේ වන විටත් 1-1 ක් ලෙසින් සමව පවතින බැවින් මෙල්බර්න් තරගයේ ජයග්‍රාහකයා තරගාවලියේ පෙරමුණ ගනු නිසැකය. 

ඕස්ට්‍රේලියානුවන් මෙම ප්‍රබල ස්ථානයට කැඳවාගෙන ඒම සඳහා අවසන් මොහොතේදී කඩුලු 2 ක් දවාගත් වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරන ස්කොට් බෝලන්ඩ් සුවිශේෂී දායකත්වයක් දැක්වීය. 

පිට පිටම දෙවැනි ශතකයක් ලබාගත් ස්ටීවන් ස්මිත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 450 කඩඉමෙන් එතෙර කළේය. ස්මිත්ට අනගි සහයක් දුන් නායක පැට් කමින්ස් හතරේ පහර 7 ක් ද සහිතව ලකුණු 49 ක් ලබාගත්තේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112 ක් එකතු කරමිනි. 

අද දිනයේ ආරම්භය මෙන්ම අවසානයත් ඉන්දියානුවන්ට අහිතකර විය. අද උදෑසන ඉන්දීය ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ දුර්වලතා හේතුවෙන් ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ඕවර 27 කින් ලකුණු 143 ක් එකතුකර ගත්හ. ස්ටීවන් ස්මිත් සිය 34 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේ ටෙස්ට් ලකුණු 10,000 කඩඉමට ලකුණු 51 කින් ආසන්න වෙමිනි. 

ඉන්දීය ඉනිම ආරම්භයේදීම රෝහිත් ෂර්මා ලකුණු 03 කට දැවී ගියේ ඔහුගේ අසාර්ථකත්වය තවදුරටත් දිගු කරමිනි. මෙම තරගාවලියේදී රෝහිත්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 03, 06, 10 ක් සහ 03 ක් වශයෙනි. ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 14 දීම වාර්තා වූයේ ලකුණු 155 කි. සාමාන්‍යය 11.07 කි. දැන් ඉතිරිව තිබෙන ප්‍රශ්නය වන්නේ තරගාවලියේ පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය පැවැත්වෙන සිඩිනි පිටියෙන් ඔබ්බට රෝහිත් ෂර්මාගේ ටෙස්ට් දිවිය දිගහැරේවිද යන්නයි. 


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 474 යි
(සෑම් කොන්ස්ටාස් 60, උස්මන් කවාජා 57, මානස් ලැබුෂේන් 72, ස්ටීවන් ස්මිත් 140, ඇලෙක්ස් කේරි 31, පැට් කමින්ස් 49, මිචෙල් ස්ටාක් 15, නේතන් ලයන් 13, ජස්ප්‍රීට් බුම්රා 99/4, ආකාශ් දීප් 94/2, රවීන්ද්‍ර ජදේරා 78/3)

ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 5 ට 164 යි
(යශස්වී ජයිස්වාල් 82, ලෝකේෂ් රාහුල් 24, විරාට් කෝලි 36, පැට් කමින්ස් 57/2, ස්කොට් බෝලන්ඩ් 24/2)

- 213


අදහස් (0)

ඉන්දියානුවන්ගේ අත්වැරදීමක අවාසිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.