Last Update  :  2025-01-01 19:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උත්තර සොයාගත යුතු ප්‍රශ්න කීපයක්
විස්සයි-20 තරගාවලිය

උත්තර සොයාගත යුතු ප්‍රශ්න කීපයක්

editorial - 2024 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව තවමත් යන්නේ අවදානම් ගමනකි. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මවුන්ට් මන්ගනුයිහි ‘බේ ඕවල්’ පිටියේදී හෙට (28 වැනිදා) ආරම්භ වන, තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඇත්තේ තරගාවලිය ජයගැනීමේ අභියෝගය පමණක් නොවේ. තවත් වසර එක හමාරකින් පමණ ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර, උත්තර සොයාගත යුතු ප්‍රශ්න කිහිපයක් ද ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තිබේ. 

කොදෙව් පිලට එරෙහිව පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැති විස්සයි-20 තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවූ නමුත් තරගාවලිය නිමාවේදී කොදෙව් පුහුණුකරු ඩැරන් සැමීගේ සරදමට ලක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඉන් අනතුරුව නවසීලන්තයට එරෙහිව දඹුල්ලේදී පැවැති පළමු විස්සයි-20 තරගය පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, දෙවැනි තරගයේදී මෙල්ල කරගැනීමට ලොකී ෆර්ගසන් (07/3) ඇතුළු නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. 

කටුක යථාර්ථය නම්, පසුගිය ජූනි මාසයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ සිට විස්සයි-20 අන්තර්ජාතික තරග 11 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 4 ක්  පමණක් වීමයි. කොදෙව් පිලට එරෙහිව ලබාගත් ජයග්‍රහණ දෙකත් ඊට ඇතුළත් වෙතත් මෙම කාලය ඇතුළත විස්සයි-20 අන්තර්ජාතික තරග 7 කදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබේ. 

මෙවන් වාතාවරණයක් පසුබිමේ තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට ගියේ හුදෙක් තරගාවලියක් ජයගැනීමට පමණක් නොවේ. 

2026 දී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසු පන්දු යවන්නන්ගේ සංයුතියක් කල් ඇතිවම සොයා ගනිමින්, ඔවුන් දිගු කාලයක් එක දිගට එක්ව ක්‍රීඩා කරවීමේ අවශ්‍යතාව තිබේ. 

මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ අසිත ප්‍රනාන්දු තිදෙනාම ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වන්නේ වේග පන්දු යවන්නන් අතර පවතින තරගකාරීත්වය මෙන්ම මතීෂ සහ නුවන් තුෂාර දෙදෙනා සම්බන්ධයෙන් කෙතරම් දුරට විශ්වාසය තැබිය හැකිද යන්නත් පරීක්‍ෂා කිරීමේ අරමුණ ඇතිවය. මතීෂ සහ නුවන් දෙදෙනා හමුවේ ඇති අභියෝගය නම් පා ඉන්නට ඈතින් පතිත වන ‘වයිඩ්’ පන්දු නොයවා සිටීමයි. ඒවායින් එකක් හෝ කඩුලු රකින්නාට රැකගත නොහැකි වූයේ නම් ස්ථිර වශයෙන්ම ලකුණු 5 ක් ප්‍රතිවාදී පිලට හිමිවන අතරම තරගයක ජය පරාජය තීරණය කිරීමට එය හොඳටම ප්‍රමාණවත් වේ. 

පිතිකරු ලයිස්තුවේ මැද පෙළ ස්ථාවරත්වය මෙන්ම පිතිකරු ලයිස්තුව අග්ගිස්සේ තිබිය යුතු ප්‍රහාරක ශක්තිය පරීක්‍ෂා කර බැලීමත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ප්‍රධාන අපේක්‍ෂාවකි. 

එක්දින කණ්ඩායමට ඇතුළත් නොවූවත්, දිනේෂ් චන්දිමාල් විස්සයි-20 සංචිතයට එක්ව ඇත්තේ පිතිකරු ලයිස්තුවේ හදිසි කඩාවැටීමකදී ඔහුගෙන් ලැබෙන මුක්කුව කෙතරම් සවිමත් ද යන්න බැලීමේ අරමුණ ඇතිවය. අනෙක් අතට භානුක රාජපක්‍ෂට වූවත්, ක්‍ෂණික ප්‍රහාරයට අමතරව වැඩිපුර කළ හැක්කේ කුමක් ද යන්න පිළිබඳවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය මෙන්ම තේරීම් කමිටුවත් ඇද ගසාගෙන සිටී. 

නවසීලන්ත නායක මිචෙල් සෑන්ට්නර්ගේ අපේක්‍ෂාව නම් කරට කර තරගාවලියකි. 
“ඔව්. මේක හොඳ තරගාවලියක් වේවි”

“(පසුගිය නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදී) අපි දැක්කා ශ්‍රී ලංකා කණ්ඩායම කොයි තරම් හොඳ කණ්ඩායමක් ද කියලා. ඒත් ඒ එයාලගේ රටේ තිබුණු තත්ත්වය”

“දැන් තත්ත්වය වෙනස්. ඒත් අපි දන්නවා එයාලා හොඳ කණ්ඩායමක්. එයාලා ඔක්කොම කාලයක් තිස්සේ එකට ක්‍රීඩා කරනවා” යයි කී සෑන්ට්නර්... 

“අපේ ක්‍රීඩා ලෝලීන් හමුවේ සෙල්ලම් කරන්න ලැබෙන එක නම් හොඳයි. මොකද අලුත් ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම දස්කම් පෙන්වන්න බලා ඉන්නවා” 

“නේදන් ස්මිත් සහ බෙවන් ජේකබ්ස් පළමු වතාවට තමයි අපේ රටේදී ක්‍රීඩා කරන්නේ.... අපේ පිතිකරු ලයිස්තුව ටිකක් දිගයි විතරක් නෙමේ. අපට හොඳ දඟ පන්දු යවන්නන් කිහිප දෙනකුත් ඉන්නවා” යයි ද පැවසීය. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට හොඳ ඉල්ලුමක් තිබේ. පළමු තරග දෙකේම ප්‍රවේශපත් අළෙවි වී අවසන් ව ඇති අතර තුන්වැනි තරගය සඳහා තවත් ඇත්තේ ප්‍රවේශපත් 200 කට අඩු සංඛ්‍යාවක් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි. 

හෙට (28 වැනිදා) පැවැත්වෙන පළමු තරගය දිවා/රාත්‍රී තරගයක් වූවත්, එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.45 ට ආරම්භ වේ. 

(ඡායාරූපය - නවසීලන්ත ක්‍රිකට් අනුග්‍රහයෙනි)


අදහස් (1)

උත්තර සොයාගත යුතු ප්‍රශ්න කීපයක්
  • මංජුල ජයසේකර Saturday, 28 December 2024 08:04 AM

    ප්‍රැක්ටිස් මැච් 2 දිනන්න අවස්ථාවක් දීලා අපේ අයගේ හැසිරීම නිරික්ෂණය කළා. බලාපොරොත්තු නොවූ දේවල් බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කරන්න. දක්ෂයෝ මග හලා නාමික දක්ෂයින් නිසා නොසිතූ පරාජයන් ට මුහුණ දීමට සිදුවේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.