Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උප නායක රෙහාන්ගේ ශතකය රාජකීය විදුහල ඔසවා තබයි
146 වැනි නිල් මහ සටන

උප නායක රෙහාන්ගේ ශතකය රාජකීය විදුහල ඔසවා තබයි

editorial - 2025 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ‘ඩී.එස්. සේනානායක’ අනුමස්රණ පළිහ වෙනුවෙන් කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 146 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (6 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි සාන්ත තෝමසුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 32 ක් ලබා සිටියහ. 

කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් විදුහල් නායක කවිඳු ඩයස්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවමින් සාන්ත තෝමස් විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. 

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ රාජකීය කණ්ඩායමේ උප නායක රෙහාන් පීරිස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 21 ක් සමග ලකුණු 158 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ දැමුවේය. තවමත් 16 වැනි වියේ පසුවන රෙහාන්, මෙවර අන්තර් පාසල් තරග වාරයේදී ලබාගත් දෙවැනි ශතකය මෙය වූ අතර මෙම ඉනිමත් සමග මෙවර තරග වාරයේදී ලකුණු 800 සීමාව පසුකර යෑමටද ඔහු සමත් විය. 

මුල් පෙළ පිතිකරුවන් වූ හිරුන් ලියනාරච්චි (9) සහ ඉසුල ගීගනගේ (4) අඩු ලකුණු සංඛ්‍යාවන් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට සාන්ත තෝමස් නායක කවිඳු ඩයස් සමත් වුවද, විමත් දින්සර (25) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට රෙහාන් සමත් විය. ඉන් නොනැවතුණු රෙහාන්, පස්වැනි කඩුල්ල සඳහා තෙවිඳු සේනාරත්න (48) සමග එක්ව ලකුණු 95 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. 

 

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 78 කදී කඩුලු 7 ක් දැවී 319 
(රෙහාන් පීරිස් 158, විමත් දින්සර 25, තෙවිඳු සේනාරත්න 48, යසිඳු දිනානායක නොදැවී 25, කවිඳු ඩයස් 71/2, ඩැරීන් ඩියේගෝ 43/2) 

සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 10 කදී කිසිවකු නොදැවී 32  
(අවිනාෂ් ප්‍රනාන්දු නොදැවී 18, ජේඩ්න් අමරවීර නොදැවී 14) 

 

(ඡායාරූප - ප්‍රදීප් දිල්රුක්ෂණ)


අදහස් (0)

උප නායක රෙහාන්ගේ ශතකය රාජකීය විදුහල ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.