Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උපුල් තරංගගේ වෑයමත් සුළගේ ගසාගෙන යයි

උපුල් තරංගගේ වෑයමත් සුළගේ ගසාගෙන යයි

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කඳුරට පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ උපුල් තරංගගේ විශිෂ්ට පිතිහරඹය බල රහිත කළ රයාන් ටෙන්ඩස්කාටර්, චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුදුසුකම් තේරීමේ තරගයේදී කඩුලූ 6 ක ජයක් කරා ඔටාගෝ වෝල්ට්ස් පිල කැඳවාගෙන ගියේය.

ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්තයේ මොහාලි කී‍්‍රඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් කඳුරට මෙරූන්ස් පිල  ඕවර 20 ක් අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 154 ක් ලබාගත්තේය. එහෙත් රයාන් ටෙන්ඩස්කාටර්ගේ ඉනිම නිසා පන්දු 12 ක් ඉතිරිව තිබියදීම ජයග‍්‍රහණය ලබාගැනීමට ඔටාගෝ වෝල්ට්ස් පිතිකරුවෝ සමත් වූහ.

මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායම ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත් අතර කඳුරට මෙරූන්ස් පිලට කිසියම් බලාපොරොත්තුවක් ඉතිරි වී ඇත්නම් ඒ සුදුසුකම් තේරීමේ තරගාවලියේ සෙසු කණ්ඩායම් තුනම සම ප‍්‍රසාද ලකුණු ලබාගතහොත් පමණි.

එසේ වුවහොත් ඉහළම ශූද්ධ ලකුණු වේගය මත අනෙක් කණ්ඩායම ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇත.
ලකුණු 155 ක ඉලක්කයක් හඹා යාමේදී  ඕවර 10 ක් අවසානයේදී ඔටාගෝ වෝල්ට්ස් පිල ලබා සිටියේ කඩුලූ 2 ක් දැවී ලකුණු 62 ක් පමණි. එහෙත් 11 වැනි  ඕවරයේදී පිට පිටම ගැසූ හයේ පහර 3 ක් ද සමගින් ලකුණු 20 ක් උදුරාගත් රයාන් ටෙන්ඩස්කාර්, තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ඔටාගෝ පිල වෙත ඇදගෙන ගියේය.

පන්දු 32 කදී ලකුණු 64 ක් උදුරා ගත් රයාන් පිටියේ ඉතා පහතින් ඇදී ගිය, වේගවත් හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. කාසියේ වාසිය දිනාගත් ඔටාගෝ වෝල්ට්ස් පිල පළමුවෙන් පන්දුවට පහර දීමට කඳුරට මෙරූන්ස් පිලට ආරාධනා කළේය. හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් පන්දු 9 කදී ලකුණු 13 ක් ලබාගත් කුමාර් සංගක්කාර කලින්ම දැවී ගිය නමුත් පසුපස නොබැලූ උපුල් තරංග ඔටාගෝ පන්දු යවන්නන් තඹයකට මායිම් නොකර, පන්දු 56 කට මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 76 ලබා ගත්තේය.

10 වැනි  ඕවරය නිමාවේදී කඩුලූ 2 කට ලකුණු 72 ක් ලබා සිටියද මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගෙන් නිසි සහයෝගයක් නොලැබීම නිසා කඳුරට මෙරූන්ස් පිලට ලකුණු 154 කින් සෑහීමට පත්වීමට සිදුවිය.

කාසියේ වාසිය දිනාගත් ඔටාගෝ වෝල්ට්ස් පිල පිතිහරඹය සඳහා කඳුරට පිලට ආරාධනා කරමින් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. කඳුරට පිල වෙනුවෙන් ඊයේ තරගයේදී කී‍්‍රඩා කළ ළහිරු ජයරත්න වෙනුවට අද තරගය සඳහා සුරාජ් රන්දිව් කැඳවා තිබේ.

කඳුරට මෙරූන්ස් කණ්ඩායමේ කී‍්‍රඩකයකු ලෙසින් චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාවට ගිය නමුත් අද තරගයේදීත් රංගන හේරත් කඳුරට කණ්ඩායමට කැඳවා නැත. චැම්පියන්ස් ලීග් වි:20 තරගාවලියේ නීති රීති අනුව, චැම්පියන්ස් ලීග් වි:20 තරගාවලියට සුදුසුකම් නොලබන කණ්ඩායමක කී‍්‍රඩකයකුට චැම්පියන්ස් ලීග් වි:20 තරගාවලියේදී වෙනත් කණ්ඩායමකට කී‍්‍රඩා කළ නොහැක.

චැම්පියන්ස් ලීග් වි:20 තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා ශී‍්‍ර ලංකාවේදී පැවැති සුපිරි විස්සයි/20 තරගාවලියේදී රංගන හේරත් නියෝජනය කළේ දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවන ලද උතුර යෙළෝස් කණ්ඩායමයි.

 

ලකුණු පුවරුව

 

 


අදහස් (1)

උපුල් තරංගගේ වෑයමත් සුළගේ ගසාගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.