Last Update  :  2025-01-15 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. වෙන්දේසියට ක්‍රීඩකයෝ 420 ක්

එල්.පී.එල්. වෙන්දේසියට ක්‍රීඩකයෝ 420 ක්

editorial - 2024 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

දෙස් විදෙස් ක්‍රීඩකයන් 420 ක් ඉදිරිපත් කෙරෙන මෙවර (2024) ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළබෙන 21 වැනිදා පස්වරු 12.00 සිට කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල මහතා පැවසීය. ඔහු ඒ බව කියා සිටියේ ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (17 වැනිදා) කොළඹ ජයික් හිල්ටන් හෝටලේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. 

“එල්.පී.එල්. තරගාවලිය වෙනුවෙන් අපි ක්‍රීඩක වෙන්දේසියක් පවත්වන දෙවැනි වතාව මෙයයි. මේ පාර වෙන්දේසියට ලොව පුරා ක්‍රීඩකයන් දහසකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා හිටියා. ඒත් අපි තෝරාගැනීමේ පටිපාටියකට යටත්ව එම ප්‍රමාණය 420 ක් දක්වා අඩු කළා. දැන් ඔවුන් අතර දේශීය ක්‍රීඩකයන් 154 ක් සහ විදෙස් ක්‍රීඩකයන් 266 ක් ඉන්නවා.” යැයි දොඩන්වල මහතා සඳහන් කළේය. 

මෙවර ක්‍රීඩක වෙන්දේසිය වට 18 කින් සමන්විත වන අතර එහිදී පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයන්, වේග පන්දු යවන්නන්, දඟ පන්දු යවන්නන්, කඩුලු රකින ක්‍රීඩකයන් සහ යොවුන් ක්‍රීඩකයන් වෙන වෙනම වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉකුත් වසරේදී (2023) වෙන්දේසිය මෙහෙය වූ ඉන්දීය ජාතික චාරු ශර්මා මහතා මෙවරද වෙන්දේසිය මෙහෙයවනු ඇත. 

ඉකුත් වසරේදී කණ්ඩායම්වල හිමිකරුවන් ලෙස කටයුතු කළ පාර්ශවයන්ගෙන් කිහිප දෙනෙක් විවිධ හේතු මත මෙම වසරේදී ඉවත්කර ඇති බවද, ඔවුන් වෙනුවට වෙනත් පාර්ශවයන් සම්බන්ධකරගෙන ඇති බවද දොඩන්වල මහතා පැවසීය. එහිදී දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් සඳහා නව හිමිකරුවන් සොයාගෙන ඇති බවත්, ඉදිරි දින දෙක තුළ මහනුවර කණ්ඩායම සඳහා නව හිමිකරුවකු ගිවිසුම්ගත කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

මෙවර වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 6 දෙනකු සිය කණ්ඩායම් සඳහා එක්කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත. ඒ සඳහා ඔවුන්ට ක්‍රීඩකයන් ඍජුවම ගිවිසුම්ගත කරගැනීම හෝ ඉකුත් වසරේදී තම කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් මෙම වසර සඳහාත් කණ්ඩායමේ රඳවාගැනීම යන විකල්ප දෙක භාවිතා කළ හැකිය. මේ වන විටත් ඇතැම් කණ්ඩායම් එම විකල්ප භාවිතා කරමින් සුවිශේෂී ක්‍රීඩකයන් සිය කණ්ඩායම්වලට එක්කර ගෙන තිබේ. 

මෙවර එල්.පී.එල්. තරගාවලිය සඳහා කණ්ඩායම්වලට ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීමේදී සෑම කණ්ඩායමකටම ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක බැගින් වූ උපරිම මුදලක් වැය කිරිමට සංවිධායකයන් අවස්ථාව ලබාදී ඇති අතර වෙන්දේසියට පෙර කණ්ඩායම්වලට ඇතුළත් කර ගන්නා ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකළ යුතු වන්නේද එම මුදලින්ය. 

එම ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 න් වෙන්දේසියට පෙර වියදම් කරන මුදල අඩු කළ පසු ඉතිරිවන මුදල කණ්ඩායම් හිමිකරුවන් ක්‍රීඩක වෙන්දේසියට රැගෙන ආ යුතු අතර ඉන් 85% ක් අනිවාර්යෙන්ම වෙන්දේසියේදී ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා වියදම් කළ යුතුය. ඒ අනුව මෙවර තරගාවලිය සඳහා තෝරාගන්නා ක්‍රීඩකයන් අතර බෙදී යන මුලු මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 ක් පමණ වනු ඇත. 

තරගාවලියට ඉදිරිපත් කිරීම සඳහා සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයන් හය දෙනකු මිලදී ගත හැකි අතර දේශීය ක්‍රීඩකයන් 14 ත් 18 ත් අතර සංඛ්‍යාවක් මිලදී ගත හැකිය. කෙසේ වුවත් තරගයක් සඳහා සහභාගි විය හැක්කේ විදෙස් ක්‍රීඩකයන් සිවු දෙනකුට පමණක් වන අතර සෙසු ක්‍රීඩකයන් හත් දෙනාම ශ්‍රී ලාංකිකයන් විය යුතුය. ඔවුන් අතර වයස 23 න් පහළ ක්‍රීඩකයකු සිටීමද අනිවාර්ය වී තිබේ. 


අදහස් (0)

එල්.පී.එල්. වෙන්දේසියට ක්‍රීඩකයෝ 420 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.