Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ටේ‍්‍රලියාව සිවුවැනි ජයත් සොයා ගමන අරඹයි

ඕස්ටේ‍්‍රලියාව සිවුවැනි ජයත් සොයා ගමන අරඹයි

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට 5-0 ක පරාජයක් උරුමකර දීමේ අටියෙන් ලකුණු 231 ක ඉලක්කයක් කරා යන  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන සිවුවැනි ‘අළු බඳුන’ තරගයේ තුන්වැනි දිනය වන අද (28 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 30 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කි‍්‍රස් රොජර්ස් (නොදැවී 18) සහ ඬේවිඞ් වෝනර් (නොදැවී 12) පිටියේ රැඳී සිටියහ.

ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිම ලකුණු 204 කට සීමා කළ එංගලන්ත කී‍්‍රඩකයන් අළු බඳුන තරගාවලියේදී තමන්ගේ කීර්තිනාමය රැකගැනීමේ සටනට අවතිර්ණ වූ නමුත් දෙවැනි ඉනිමේදීත් පිතිකරුවන් අසාර්ථක වීම නිසා ජේම්ස් ඇන්ඩසන් ඇතුළු පන්දු යවන්නන් නිර්මාණය කර දුන් අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන ලබාගත නොහැකි විය.

දිවා ආහාරයෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 65 ක් ලබා සිටියද කඩුලූ 10 ම ලකුණු 114 කට දැවී ගිය අතර නේතන් ලයන් එහි විනාශකාරයා විය. එංගලන්තයේ අවසන් කඩුලූ පහ ලකුණු 6 ක් අතරේ දියවී ගියේය.

කුක් දැවීයාමෙන් පසුව මයිකල් කාබෙරි, ජෝ රූට් සහ ඉයන් බෙල්ද දැවී යාම නිසා එංගලන්තය එක ලකුණක් ලබාගන්නා අතරේ කඩුලූ 3 ක් අහිමි කරගත්තේය.
කෙවින් පීටර්සන් ලකුණු 49 ක් ලබාගත් නමුත් නරඹන්නන්ගේ වැඩි අවධානයට ලක්වූයේ ඔහුගේ පිතිහරඹයට වඩා පීටර්සන් සහ මිචෙල් ජොන්සන් අතර පැවැති වාග් සංග‍්‍රාමයයි.

දිවා ආහාරයෙන් පසුව, ලකුණු 54 කට කිසිවකු නොදැවී සිටියදී තරගය ආරම්භ කළ එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් පිටියෙන් ඉවත් කිරීමට මිචෙල් ජොන්සන් සමත් විය. තවමත් 29 හැවිරිදි ඇලිස්ටෙයාර් කුක් අද දිනයේ ටෙස්ට් ලකුණු 8000 කඩයිම පසුකර ගිය අතර එම දස්කම කළ ලාබාලතම කී‍්‍රඩකයාද වෙයි. ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට වඩා දින 21 කට කලින් ඇලිස්ටෙයාර් කුක් ටෙස්ට් ලකුණු 8000 පසුකර ගියේය.

ලෝකයේ පැරණිතම ටෙස්ට් කි‍්‍රකට් පිටිය වන මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ ටෙස්ට් තරගයකදී සිවුවැනි ඉනිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාවල සාමාන්‍යය වන්නේ 169 කි.
මෙම කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් කණ්ඩායමක්, තරගයක් ජයගැනීම සඳහා සිවුවැනි ඉනිමේදී ලබාගත් විශාලතම ලකුණු සංඛ්‍යාව වන්නේ 1928 දී එංගලන්ත කණ්ඩායම ලකුණු 332 ක් ලබාගනිමින් සත්කාරක  ඕස්ටේ‍්‍රලියානු පිල පරාජය කිරීමයි.

කෙසේ වෙතත් 1996 දී ‘පිටතින් ගෙනෙන තණතීරුව’ මෙල්බර්න් කී‍්‍රඩාංගණයට හඳුන්වාදීමෙන් පසුව, ටෙස්ට් කණ්ඩායමක් සිවුවැනි ඉනිමේදී ලබාගත් සාර්ථකම ලකුණු සංඛ්‍යාව වන්නේ 183 කි. එය වසර 2008 දී දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාවයි.

එංගලන්තය - පළමු ඉනිම 255

ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 204
(කි‍්‍රස් රොජර්ස් 61, ෂේන් වොට්සන් 10, මයිකල් ක්ලාක් 10, ස්ටීවන් ස්මිත් 19, බ‍්‍රැඞ් හැඩින් 65, ජේම්ස් ඇන්ඩසන් 67/4, ස්ටුවර්ට් බ්‍රෝඞ් 45/3, ටිම් බ්‍රෙස්නන් 24/2)

එංගලන්තය - දෙවැනි ඉනිම 179
(ඇලිස්ටෙයාර් කුක් 51, මයිකල් කාබෙරි 12, ජෝ රූට් 15, කෙවින් පීටර්සන් 49, බෙන් ස්ටෝක්ස් 19, ජොනී බෙයාර්ස්ටෝ 21, මිචෙල් ජොන්සන් 25/3, නේතන් ලයන් 50/5, පීටර් සිඞ්ල් 46/1)

ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 30
(කි‍්‍රස් රොජර්ස් නොදැවී 18, ඬේවිඞ් වෝනර් නොදැවී 12)


 


 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව සිවුවැනි ජයත් සොයා ගමන අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.