Last Update  :  2024-11-06 12:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කමින්ස් ඕස්ට්‍රේලියාවේ සායම බේරාගනී
මෙල්බර්න් එක්දින තරගය

කමින්ස් ඕස්ට්‍රේලියාවේ සායම බේරාගනී

editorial - 2024 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් කොහොමටත්, කෝකටත් තෛලය බව ඕස්ට්‍රේලියානුවෝ දනිති. පන්දුවෙන් නම් පන්දුවෙන්, පිත්තෙන් නම් පිත්තෙන්, නැත්නම් දුවලා... දුවලා.... දුවලා... ගිහින් උඩපන්දුවක් අල්ලා ගන්නට හෝ කමින්ස් කැමතිය. 

එනිසාම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අද (4 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ඕස්ටේ්‍රලියානුවෝ යන්තමින් දිනුම් කනුව පසුකර ගියහ. 

පකිස්තානුවන් හමුවේ ලකුණු 204 ක පහසු ඉලක්කයක් කරා යමින් සිටි ඕස්ට්‍රේලියානුවෝ ඕවර 30 ක් අතේ තිබියදී කඩුලු 3 කට ලකුණු 139 ක් ලබා සිටියහ. මේ අවස්ථාවේදී හාරිස් රවුෆ් පිට පිට පන්දු දෙකකදී මානස් ලැබුෂේන් සහ ග්ලෙන් මැක්ස්වෙල් දවාගැනීම හේතුවෙන් ඕවර 5.3 ක් ඇතුළත ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සිව් දෙනෙක් ලකුණු 16 ක් ඇතුළත දැවී ගියහ. 

තරගය ජයගැනීමට නම් ඕස්ට්‍රේලියානුවන් තවත් ලකුණු 49 ක් ලබාගත යුතුවූ අතර ඔවුන් සතුව තිබුණේ කඩුලු 3 ක් පමණි. පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු නායකයා, ෂෝන් ඇබට්වත් (13) එකතු කරගනිමින් ලකුණු සංඛ්‍යාව තල්ලු කරගෙන යද්දී ඇබට් දුවද්දි දැවී ගියේය. ජයග්‍රහණයට තවත් ලකුණු 19 ක් අවශ්‍ය වූවත් පසුපස බැලුවේ කමින්ස් නොවේ. 

පන්දු 31 කින් ලකුණු 32 ක් ලබාගත් ඕස්ටේ්‍රලියානු නායකයා, මාස 11 කට පසුව කණ්ඩායමට එක්වෙමින් ඕවර 16.3 ක් ඉතිරිව තිබියදී සිය කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. වසර 8 කට පමණ පසුව ඕස්ට්‍රේලියාවේදී ජයග්‍රහණයක් ලැබීමේ සිහින දකිමින් සිටි පාකිස්තානුවන්ට තව දුරටත් බලා සිටින්නට සිදුවිය. 

“මම වැඩිය කැමති (ඕස්ට්‍රේලියානුවන් පන්දුවට පහර දෙන විට) ක්‍රීඩාගාරයට වෙලා තරගය දිහා බලා ඉන්නයි. ඒත් මේ වගේ තරගත් හොඳයි” යයි තරගයෙන් පසුව පැට් කමින්ස් කීවේය. 

එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ අවසන් තරග දෙකේදීම කණ්ඩායමෙන් නෙරපාහරින ලද බාබර් අසාම් අද යළිත් පාකිස්තානු පිල හා එක්විය. පන්දු 37 කින් ලකුණු 44 ක් ලබාගත් පාකිස්තානයේ හිටපු නායකයා දැවී ගියේ ඇඩම් සම්පාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. නායක මොහොමඩ් රිස්වාන් දැවී යාමත් සමගින් පාකිස්තානු ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 6 කට 117 ක් ලෙසිනි. එහෙත් ශහීන් ෂා අෆ්රීඩි (24), ඉර්ෆාන් ඛාන් (22) සහ නසීම් ෂා (40) තිදෙනාගේ මුරණ්ඩු පහරදීම් නිසා පාකිස්තානුවෝ 200 පසුකළහ.
 
ලෝක ශූරයන් වුවද, ඕස්ටේ්‍රලියානුවන් අද තරගයට පිවිසියේ සිය ප්‍රබලතම ක්‍රීඩකයන් සිව් දෙනකු නොමැතිවය. ඩේවිඩ් වෝනර් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින අතර ජොස් හේසල්වුඩ් විවේක ගන්වා තිබිණ. ට්‍රැවිස් හෙඩ් සහ මිචෙල් මාෂ් දෙදෙනාටම පීතෘ නිවාඩු අනුමත කර තිබිණ. කෙසේ වෙතත් ස්ටීවන් ස්මිත් (44) සහ ජොෂ් ඉංග්ලිෂ් (49) තමන්ගේ සුපුරුදු තරග රටාවට අවතීර්ණ වී සිටීම පාකිස්තානුවන්ගේ පමණක් නොව තව නොබෝ දිනකින් ඕස්ට්‍රේලියාවට පා තබන ඉන්දියානුවන්ට වුවත් සැනසීමක් නොගෙනෙන ප්‍රවෘත්තියකි.


පාකිස්තානය - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 203 යි
(අබ්දුල්ලා ශෆීක් 12, බාබර් අසාම් 37, මොහොමඩ් රිස්වාන් 44, ෂල්මන් අඝා 12, ඉර්ෆාන් ඛාන් 22, ශහීන් ෂා අෆ්රීඩි 24, නසීම් ෂා 40, මිචෙල් ස්ටාක් 33/3, පැට් කමින්ස් 39/2, ඇඩම් සම්පා 64/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 33.3 කදී කඩුලු 8 ට 204 යි
(ජැක් ෆ්‍රාසර්මැගර්ක් 16, ස්ටීවන් ස්මිත් 44, ජොෂ් ඉංග්ලිෂ් 49, මානස් ලැබුෂේන් 16, ඒරන් හාර්ඩි 10, ෂෝන් ඇබට් 13, පැට් කමින්ස් නොදැවී 32, ශහීන් ෂා අෆ්රීඩි 43/2, හාරිස් රවුෆ් 67/3)


අදහස් (0)

කමින්ස් ඕස්ට්‍රේලියාවේ සායම බේරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.