Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ අසාර්ථකත්වයත්, ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වීමත් හැරුණු කොට පසුගිය වසර දෙකට සාපේක්ෂව ගත් කළ ගෙවී ගිය 2024 වසර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තරමක ජයග්‍රාහී වසරක් ලෙස හැඳින්විය හැකිය.
2024 වසරේදී ටෙස්ට් තරග 10 කටත්, එක්දින තරග 18 කටත්, විස්සයි-20 තරග 22 කටත් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එහිදී ටෙස්ට් ජයග්‍රහණ 6 ක්ද, එක්දින ජයග්‍රහණ 12 ක්ද, විස්සයි-20 ජයග්‍රහණ 10 ක්ද ජය ගත්තේය. ටෙස්ට් සහ එක්දින තරගවලදී 50% කට වැඩි ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, විස්සයි-20 තරගවලදී සිය ජයග්‍රාහී ප්‍රතිශතය 45% ක් ඉක්මවා ගියහ.
කෙසේ වුවත් 2023 වසරේදී ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිව ඇත්තේ ටෙස්ට් තරග 10 කින් 2 ක්, එක්දින තරග 33 කින් 16 ක් සහ විස්සයි-20 තරග 7 කින් 1 ක් පමණි. 2022 වසරේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 8 කින් 3 ක්ද, එක්දින තරග 17 කින් 9 ක්ද, විස්සයි-20 තරග 25 කින් 13 ක්ද ජය ලබා තිබිණි. ඒ අනුව බලන කළ ආකෘති තුනෙන්ම මෙම වසරේදී ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් ලබා ඇත.
ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලි 2-0 ක් ලෙසත්, විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙසද ජයගත් ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් යුතු වසර ආරම්භ කළේය. අනතුරුව ටෙස්ට් තරගයකින්, එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත තරග මාලාවකට සහභාගි වීම සඳහා ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණියේය.
පැවැති එකම ටෙස්ට් තරගයේදී ඇෆ්ඝනිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, එක්දින තරගාවලි 3-0 ක් ලෙසද, විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙසද ජයගනිමින් තවදුරටත් සිය භූමිය තුළ ආධිපත්‍ය පැතිරවීමට සමත් වූහ. ඉන් අනතුරුව එළඹියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයයි.
මාර්තු මාසයේදී ටෙස්ට් තරග 2 කින්, එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත තරග මාලාවකට සහභාගි වීම සඳහා බංග්ලාදේශය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ආපසු පැමිණියේ ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙසත්, විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙසත් ජයගනිමිනි. එහෙත් දෙරට අතර පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව 2-1 ක් ලෙස පරාජයට පත් විය.
එතැන් පටන් මාස දෙකක පමණ විවේකයකින් අනතුරුව ජූනි මාසයේදී විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කෙදෙව් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, එහි මූලික වටයේදී නොසිතූ විරූ පරාජයකට මුහුණ දුන්නේය. එබැවින් ඔවුන්ට තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් නොලබාම ආපසු සිය රට බලා ඒම සිදුවූහ.
ශ්‍රී ලංකාවට එම තත්වය උදා වූයේ ඇමරිකාවේදී දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය හමුවේ පරාජය වීමත්, නේපාලයට එරෙහිව පැවැති තරගය වැස්සට සේදී යෑමත් හේතුවෙනි. කෙසේ වුවත් බටහිර ඉන්දීය කෙදෙව්හි ශාන්ත ලුසියාහදී පැවැති මූලික වටයේ අවසන් තරගයේදී නෙදර්ලන්තය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, යම් තරමකට ජාම බේරාගෙන යළි සිය රට බලා පැමිණියේය.
ලෝක කුසලාන තරගාවලියේ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් මහතාට ඔහුගේ තනතුර පවා අහිමි විය. එහිදී සිල්වර්වුඩ් මහතාගේ සේවා ගිවිසුම අලුත් නොකිරීමට කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතාව කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස පත්කිරීමට පියවර ගත්තේය.
ජූලි සහ අගෝස්තු මාසවලදී එක්දින සහ විස්සයි-20 තරගාවලි දෙකකට සහභාගි වීම සඳහා ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ජයසූරිය මහතාගේ පළමු තරගාවලිය මෙන්ම ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ගෞතම් ගම්භීර් මහතාගේද පළමු තරගාවලිය විය.
ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ යම් පිබිදීමක් ඇති වූ බව දක්නට ලැබුණු අතර එක්දින තරගාවලියේදී 2-0 ක් ලෙස ඉන්දියාව පරාජය කරමින් ඔවුහු අළු ගසා දමා නැඟී සිටියහ. අනතුරුව අගෝස්තු මාසයේදී ටෙස්ට් තරග 3 කට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වසර 3 කට පසුව එංගලන්තය බලා ගියේය.
එංගලන්තයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරග දෙකම දින 4 ක් තුළ පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, තෙවැනි තරගයේදී එංගලන්තය පරාජයට පත් කිරීමට සමත් වූයේද දින 4 ක් තුළ වීම කැපීපෙනෙන සිදුවීමක් විය. ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී ටෙස්ට් ජයක් වාර්තා කළේ වසර 10 කට පසුව වූ අතර ශ්‍රී ලංකාව එවන් දක්කමක් දැක්වූ සිවුවැනි අවස්ථාවද එය විය. එම ජයත් සමග ජයසූරිය මහතාට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්ථිර පත්වීමක්ද හිමිවිය.
ටෙස්ට් තරග 2 කට සහභාගි වීම සඳහා සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි නවසීලන්ත කණ්ඩායම සති දෙකකට පසුව ආපසු පිටත් කර යෑවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූයේ ඔවුන්ට 2-0 ක පරාජයක් අත්කර දෙමිනි. අනතුරව ඔක්තෝබර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වූ අතර එහිදී ඔවුන්ට ජයසූරිගේ බළෑණිය හමුවේ 2-1 ක එක්දින සහ විස්සයි-20 තරගාවලි පරාජයන්ට මුහුණදීමට සිදුවූහ.
එක්දින තරගාවලියකට සහ විස්සයි-20 තරගාවලියකට සහභාගි වීම සඳහා නවසීලන්ත කණ්ඩායම නොවැම්බර් මාසයේදී යළිත් මෙරටට පැමිණියේය. එහිදී 1-1 ක් ලෙස විස්සයි-20 තරගාවලිය සම කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, එක්දින තරගාවලියේදී නවසීලන්තයට 2-0 ක පරාජයක් උරුම කර දුන්හ. කෙසේ වුවත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාව එහිදී 2-0 ක පරාජයක් ලැබීය.
වසර අවසානයේ නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේ මුල් තරග දෙකට සහභාගී වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි-20 ජයග්‍රාහී ප්‍රතිශතද 50% ක් ලෙස පැවතිණි. කෙසේ වුවත් දෙසැම්බර් මස 28 වැනිදා සහ 30 වැනිදා පැවැති එම තරග දෙකේදීම නවසීලන්තය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් එම ප්‍රතිශතය 45.45% ක් දක්වා පහළ වැටිණි.
දකුණු අප්‍රිකාව හමුවේ ලැබූ පරාජයත් සමග ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව ඉතා අල්ප විය. එම අවස්ථාව උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට එළබෙන ජනවාරි මාසයේදී ඕටේ්රලියාවට එරෙහිව මෙරට පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. ඒ සඳහා ඔවුන්ට ඉන්දීය - ඕස්ටේ්රලියා තරගාවලියේ ප්‍රතිඵලය දෙසද බලා සිටීමට සිදුවනු ඇත.
තරග 2-0 ක් ලෙස ඕස්ටේ්රලියාව පරාජයට කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ඔවුන්ගේ දැනට පවතින 45.45 ක ජයග්‍රාහී ප්‍රතිශතය 53.85 ක් දක්වා ඉහළ යනු ඇත. මේ වන විටත් දකුණු අප්‍රිකාව ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි. එබැවින් ශ්‍රී ලංකාවට එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වීමට නම් ඕස්ටේ්රලියාවේ සහ ඉන්දියාවේ ජයග්‍රාහී ප්‍රතිශතයන් 53.85 කට වඩා අඩු අගයකට පත්විය යුතු වනු ඇත.
එසේ වීමට නම් ඉන්දීය - ඕස්ට්‍රේලියා තරගාවලියේ ඉතිරිව ඇති තරගය අනිවාර්යෙන්ම ජය පැරදුමෙන් තොරව අවසන් විය යුතුය. එහෙත් එම තරගයේදී ඉන්දියාව හෝ ඕස්ටේ්රලියාව ජය ලැබුවහොත් ශ්‍රී ලංකාව, මෙරටදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී ඕස්ටේ්රලියාව 2-0 කින් පරාජය කළද ඉන් කිසිදු ඵලක් නැතිවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.