Last Update  :  2025-01-02 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් මණ්ඩලයට ඉවත්වන්නැයි දන්වයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ක්‍රිකට් මණ්ඩලයට ඉවත්වන්නැයි දන්වයි

editorial - 2023 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

(නාමල් පතිරගේ)

ලෝක කුසලාන තරග පරාජයේ වගකීම් බාරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව වහාම ඉල්ලා අස්විය යුතු බවත්, වත්මන් ක්‍රිකට් විධායක සභාව හා ක්‍රිකට් තේරීම් කමිටුවේ හැසිරීම තුළ 2040 වසරේදීවත් ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනාගැනීමට නොහැකි තරමට රටේ ක්‍රිකට් ක්‍රීඩාව දුර්දාන්ත තත්ත්වයට ඇද දමා ඇතැයි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එසේම මෙම පරාජයට කිසිදු ක්‍රීඩකයකුට වගකීම් පැවරිය නොහැකි බව අවධාරණය කරන ක්‍රීඩා ඇමැතිවරයා ලෝක කුසලාන තරගාවලිය කට ළඟට පැමිණ තිබියදී එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමෙන් වනිඳු හසරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ආබාධ තත්ත්වයන්ට පත්වූ බවත් එය ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරග පරාජයට ඍජුවම බලපෑමක් කළ බව ද පවසයි.

ඉන්දියාවේ දී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (2) පැවැති තරගයක දී ශ්‍රී ලංකාව ඉන්දියාවට ලකුණු 302 ක දැවැන්ත පරාජයක් ලැබීමෙන් පසුව ක්‍රීඩා ඇමැතිවරයා මෙම නිවේදනය නිකුත් කර ඇත.

එහි මෙසේද දැක්වේ.

අනෙකුත් සෑම රටකම ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රීඩකයන් සඳහා අතිනවීන තාක්ෂණ ක්‍රම හා මෙවලම් හඳුන්වාදී ඇත. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකාවට ලබාදෙන මුදල් අවභාවිත කිරීමේ තත්ත්වයක් මැද එම පහසුකම් මෙවර ක්‍රීඩකයන්ට ලැබී නැත.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධ තත්ත්වයන්ට පත්ව තිබේ. ඒ අතර ලෝක කුසලාන තරගාවලිය කට ළඟට පැමිණ තිබියදී පැවැත්වූ එල්.පී.එල්. තරගාවලියේ දී වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ළහිරු කුමාර වැනි ක්‍රීඩකයන් ආබාධ තත්ත්වයන්ට පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවට, උපදේශක කමිටුවට හෝ තාක්ෂණික කමිටුවට නොපෙනීම ගැටලු සහගතය.

වසර හතරක් පුරා කටයුතු කළ තේරීම් කමිටුව මෙන්ම එකී කාලය තුළදී අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක නිරතවුණු ශ්‍රී ලංකා ක්‍රිකට්  විධායක සභාවත් මෙම පරාජයට වගකීම් බාරගත යුතුය.

වර්ෂා දිනයන්හිදී පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ගෘහස්ථ ක්‍රීඩාගාරයක්  හෝ නොමැති බව දන්නෙහිද? එසේම ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන පිහිනුම් තටාකයක් මේ වනවිටත් ඉදිවී නැත.

වසර 2018 සිදුවූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව චෝදනාව නැවත තහවුරු කරන අතර, එම ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොමැති බවද අවධාරණය කරමි.

පෞද්ගලික පළිගැනීම් හා නොසලකා හැරීම් මත පදනම්ව රට දෙවැනියට තබා ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් වැනි පළපුරුදු ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් නොකිරීම ද මෙම අවමන් සහගත පරාජයට තවත් හේතුවක් වූ බවද අවධාරණය කරමි.

සිය ක්‍රීඩකයන් දක්ෂතා අතරට නොපැමිණීම හේතුවෙන් පාකිස්ථානු ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානීන් ඉල්ලා අස්වීමෙන් ඔවුන් වගකීම් බාර ගැනීමට කටයුතු කර ඇත.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු මේ අතර ක්‍රිකට් විධායක කමිටුව හා තේරීම් කමිටුව සාධාරණීකරණය කරමින් ප්‍රකාශ ලබාදීම හාස්‍යයට කරුණකි. මෙම පරාජය තුළින් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් නොවී බහිරවයන් සේ තවදුරටත් නොසිට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා ඉල්ලා අස්වන ලෙස පරාජයේ වගකිවයුත්තන්හට අවධාරණය කර සිටිමු.


අදහස් (3)

ක්‍රිකට් මණ්ඩලයට ඉවත්වන්නැයි දන්වයි
  • Cricket Lover Saturday, 04 November 2023 11:58 AM

    කෙසේවෙතත් මොහාන් ද සිල්වා සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්වුණා. අනිත් විධායක නිලධාරීන් ඒ විදිහට අයින් වෙන්නේ නෑ..

    Reply 0       0

    chandana Saturday, 04 November 2023 12:17 PM

    ඉතාමත් නිවැරදියි. පාලක මණ්ඩලයේ අත්තනෝමතික බව මැතිව්ස් හා චන්දිමාල්ට කළ දෙයින්ම පේනවා.

    Reply 0       0

    A disgusted cricket fan Saturday, 04 November 2023 12:29 PM

    ශ්‍රී ලංකා ක්‍රිකට් මීට වගකිව යුතුයි. පළමු කාණ්ඩයේ කණ්ඩායම් 26ක් දක්වා වැඩිවීම සහ ක්‍රිකට් නිලවරණය හේතුවෙන් විශාල මුදලක් ඔවුනොවුන් අතරේ බෙදාගත්තා. ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සතුව පළමු කාණ්ඩයේ කණ්ඩායම් ඇත්තේ 6කි. මිලියන 1400ක ජනතාවක් සිටින ඉන්දියාවේත් ඉන්නේ කණ්ඩායම් 38යි. ක්‍රීඩා ඇමැති විසින් හෝ ඉවත් කළ යුතුයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.