Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් පිලට කඩුලූ 10 ක පහසු ජයක්

කොදෙව් පිලට කඩුලූ 10 ක පහසු ජයක්

ශනුක අරවින්ද - 2014 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ බංගලාදේශ පිල අතර කිංග්ස්ටන්හිදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 10 ක පහසු ජයක් අත්කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල අද (9 වැනිදා) සමත්විය.

තරගය ජයගැනීම සඳහා අවශ්‍ය වූ ලකුණු 13 කිසිවකු නොදැවී රැස්කිරීමට කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ කි‍්‍රස් ගේල් (නොදැවී 9) සහ කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් (නොදැවී 4) සමත්වූහ.

තරගයේ අවසන් දිනය වූ අද, තරගය ආරම්භ කරන විට ඉනිමක පරාජයකින් ගැලවීමේ සටනක නිරතවූ බංගලාදේශ පිලට සිය දෙවැනි ඉනිම සඳහා සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 314 ක් පමණි.   

එහිදී බංගලාදේශ පිල වෙනුවෙන් හුදෙකලා ඉනිමක් කී‍්‍රඩාකළ නායක මුෂ්ෆිකර් රහීම් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 116 ක් රැස්කළේය. බංගලාදේශ පළමු ඉනිමේදී අසාර්ථක වූ ටමීම් ඉක්බාල් සහ මහමදුල්ලා දෙවැනි ඉනිමේදී පිළිවෙළින් ලකුණු 53 ක් සහ 66 ක් බැගින් රැස්කිරීමට සමත්වූහ.

වේග පන්දුයවන කී‍්‍රඩක කේමර් රෝච් ලකුණු 64 කට 4 ක් දවාගනිමින් බංගලාදේශ පිලට දැඩි පීඩනයක් එල්ල කළේය.

කොදෙව් පිල සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් 484 ට පිළිතුරු වශයෙන් බංගලාදේශ පිලට පළමු ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 182 ක් පමණි.

එහිදි බංගලාදේශ පිතිකරුවන් සිව්දෙනකු හැරෙන්නට අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට කොදෙව් පන්දුයවන්නෝ ඉඩ නොදුන්හ. දඟ පන්දුයවන කී‍්‍රඩක සුලයිමන් බෙන් ලකුණු 39 කට කඩුලූ 5 ක් දවාගනිමින් බංගලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමුවේය.

බංගලාදේශ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොමිනුල් හක්, හතරේ පහර 7 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල සිය පළමු ඉනම සඳහා කඩුලූ 7 ක් දැවී ලකුණු 484 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා බංගලාදේශ පිලට පනදුවට පහරදීමට ආරාධනා කර සිටියේය.

එහිදී අනර්ඝ පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් හතරේ පහර 14 ක් සමගින් ලකුණු 212 ක් රැස්කිරීමට සමත්විය.

කි‍්‍රස් ගේල් (64) සමග එක්වූ කේ‍්‍රග් බ‍්‍රැත්වයිට්, පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ගෙනදුන්නේය.

ඉන් නොනැවතී ඩැරන් බ‍්‍රාවෝ (62) සමග එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128 ක සම්බන්ධතාවක්ද, ශිව්නරේන් චන්ද්‍රපෝල් (85) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 161 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ බ්‍රෙත්වෙයිට් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

කොදෙව් ඉනිම නිමාවන තුරුම කඩුල්ලේ රැදීසිටි චන්ද්‍රපෝල්, තම අර්ධ ශතකය ලබාගැනීම සඳහා පන්දු 226 කට මුහුණ දුන්නේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

කි‍්‍රස් ගේල්ගේ අර්ධ ශතකයට හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඇතුළත් වූ අතර ඩැරන් බ‍්‍රාවෝගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

තයිජුල් ඉස්ලාම් ලකුණු 135 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 484
(කි‍්‍රස් ගේල් 64, කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් 212, ඩැරන් බ‍්‍රාවෝ 62, ශිව්නරේන් චන්ද්‍රපෝල් 85, තයිජුල් ඉස්ලාම් 135/5)

බංගලාදේශ පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 182
(ශම්සුර් රෙහෙමාන් 35, මොමිනුල් හක් 51, මුෂ්ෆික රහීම් 48, සුලයිමන් බෙන් 39/5)

බංගලාදේශ පිල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 314
(ටමීම් ඉක්බාල් 53, ඉම්රුල් කයිස් 25, මහමදුල්ලා 66, මුෂ්ෆිකර් රහීම් 116, නසීර් හුසේන් 19, කේමර් රෝච් 64/4, ශෙනෝන් ගේබි‍්‍රයෙල් 25/2, සුලයිමන් බෙන් 44/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 13

-036


අදහස් (0)

කොදෙව් පිලට කඩුලූ 10 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.