Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ල පිතිකරුවෝ 600 පන්නති
එන්.එස්.එල් 2025

ගාල්ල පිතිකරුවෝ 600 පන්නති

editorial - 2025 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පිට දඟ පන්දු යවන්නකු වන රමේෂ් මෙන්ඩිස් (122) ලබාගත් ශතකයත්, අංක 10 පිතිකරු දිලුම් සුධීරගේ (නොදැවී 80) පිතිහරඹයත් නිසා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එන්.එස්.එල්. තරගාවලියට අයත් පළමු පෙළ තරගයකදී ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 9 ක් දැවී ලකුණු 602 ක් ලබාගත්හ. එතැනින් ඉනිම අත්හිටවූ ගාල්ල ක්‍රීඩකයෝ, මහනුවර ඉනිම ආරම්භයේදීම ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ පිතිහරඹය ලකුණු 04 කට සීමා කළහ.

තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට මහනුවර කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 52 ක් ලබා සිටියේය. 

පළමු දිනය නිමාවේදී කඩුලු 4 ක් දැවී ලකුණු 336 ක් ලබා සිටි ගාල්ල කණ්ඩායමට අවශ්‍ය වූයේ නැවතත් පන්දුවට පහර දීමේ කරදරයෙන් මිදී, තණතීරුවේ තිබූ පිතිකරුවන්ට යෝග්‍ය ස්වභාවයෙන් හැකි උපරිම ප්‍රයෝජන ලබාගැනීමයි. ඒ සඳහා හැකි උපරිම කාලයක් පළමු ඉනිමේදී පන්දුවට පහර දීමට මිඩංගු කළ ගාල්ල පිලට, රමේෂ් මෙන්ඩිස් සහ දිලුම සුධීර දෙදෙනාගෙන් ලැබුණේ කදිම තල්ලුවකි. 

ලකුණු 366 දී පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස්ට පළමු පෙළ ශතක අලුත් දෙයක් නොවේ. මේ වන විටත් පළමු පෙළ ශතක 10 ක් ලබා සිටින මෙන්ඩිස්, පැය හය හමාරකට ආසන්න කාලයක් පිටියේ රැඳෙමින් ලකුණු 122 ක් ලබාගත්තේ හතරේ පහර 10 කින් සිය ඉනිම අලංකාර කරමිනි. ඒ අතරවාරයේදී නිසල තාරක සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව 412 ක් දක්වා ඉහළ දැමූ මෙන්ඩිස්, පසුව දිලුම් සුධීර සමගින් එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 139 ක සම්බන්ධතාවක් ද ගොඩනැංවීය. 

ලකුණු 551 දී රමේෂ් මෙන්ඩිස් දැවී යාමෙන් ගාල්ලේ 9 වැනි කඩුල්ලත් දැවී ගිය නමුත් දිලුම් සුධීර සහ ඩිල්ෂාන් මධුශංක දෙදෙනා එක්ව, හෙම්බත් වී සිටි මහනුවර පන්දු යවන්නන් හමුවේ, 10 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. 

මහනුවර නායක සහන් ආරච්චිගේ පන්දු යවන්නන් 9 දෙනකු උපයෝගී කරගත් නමුත් ගාල්ල පිතිකරුවන් පාලනය කිරීම අසීරු අභියෝගයක් විය. චමිඳු වික්‍රමසිංහ (90/3), රවිඳු ප්‍රනාන්දු (121/2) සහ නුවනිඳු ප්‍රනාන්දු (59/2) එක්ව කඩුලු 7 ක් බෙදාගත් නමුත් පළමු පෙළ පරාමිතීන් අනුව ඔවුන් තිදෙනාම දැඩි ප්‍රහාරයකට ලක්වූහ. මේ තිදෙනාගෙන් පමණක් ගාල්ල පිතිකරුවන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 270 කි. 


ගාල්ල - පළමු ඉනිම කඩුලු 9 ට 602 යි
(ඕෂධ ප්‍රනාන්දු 57, නිපුන් ධනංජය 137, දිනේෂ් චන්දිමාල් 31, සධීර සමරවික්‍රම 78, දුනිත් වෙල්ලාලගේ 38, රමේෂ් මෙන්ඩිස් 122, නිසල තාරක 13, දිලුම් සුධීර නොදැවී 80, ඩිල්ෂාන් මධුශංක නොදැවී 21, චමිඳු වික්‍රමසිංහ 90/3, රවිඳු ප්‍රනාන්දු 121/2, නුවනිඳු ප්‍රනාන්දු 59/2)

මහනුවර - පළමු ඉනිම කඩුලු 1 ට 52 යි 
(ළහිරු උදාර නොදැවී 36, කමිල් මිෂාර නොදැවී 10)

 


අදහස් (0)

ගාල්ල පිතිකරුවෝ 600 පන්නති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.