Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ලේ සිට..)
කාලයෙන් කාලයට කණ්ඩායමේ බර කරට ගන්නා පන්දු යවන්නෝ එදත් සිටියහ. අදත් සිටිති.
බොහෝ දෙනා සිතුවේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගෙන යාමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම වැලේ වැල් නැතිව අතරමං විය හැකි බවයි. එහෙත් රංගන හේරත් පැමිණ මුරලිදරන් උසුලාගෙන ගිය බර කරට ගත්තේය.
රංගන හේරත්ගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට වමත් දඟ පන්දු යවන්නන් දෙතුන් දෙනකුම ක්‍රීඩා කළත් ප්‍රභාත් ජයසූරිය මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරවීමේ බර කරට ගෙන සිටී. තවමත් සිය 16 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ප්‍රභාත් ජයසූරිය, මේ දක්වා දවාගෙන සිටින කඩුලු සංඛ්‍යාව 95 කි.
එංගලන්තයේ සිට පැමිණියාට පසුව ගාල්ලේ ටෙස්ට් තරගයට සූදානම් වීම සඳහා ප්‍රභාත්ට තිබුණේ දින දෙක තුනකි. එහෙත් පළමු ටෙස්ට් තරගය්දී ලකුණු 204 කට කඩුලු 9 ක් දවාගනිමින් තරගයේ වීරයා වූ ප්‍රභාත් දෙවැනි ටෙස්ට් තරගයේදී මේ වන විටත් කඩුලු 7 ක් දවාගෙන සිටී.
100 වැනි කඩුල්ල දවාගැනීම සඳහා ප්‍රභාත්ට තවත් කඩුලු 5 ක් ඕනෑකර තිබේ.
“ගාල්ලේදී නිශ්චිත ඉලක්කයක් ඇතිව පන්දු යවනවා නම් කඩුලු දවාගන්න ලේසියි. අනෙක් තැන්වලදී එහෙම නොවෙන්නේ ඒ ඒ තැන්වලදි මට බාරවෙන කාර්යය වෙනස් නිසයි” අද තරගයෙන් පසුව ප්‍රභාත් කීවේය.
එංගලන්ත සංචාරයේදී ප්‍රභාත්ට බාරවූයේ ආක්‍රමණිකයාගේ භූමිකාව නොවේ. අනෙක් අන්තයේ පන්දු යවන්නාට සහයෝගය දීමයි. කඩුලු දවාගත්තත් නැතත්, පන්දු යැවීමේදී දුර්වල පන්දු නොයවා, වැඩි වැඩියෙන් නිළකුණු ඕවර යැවීමත්, පිතිකරුවා ඇද බැඳ තබාගැනීමත් එහි වගකීමයි. එසේ වුවත්, ප්‍රභාත් එංගලන්ත සංචාරයේ තරග දෙකකදී කඩුලු 8 ක් දවාගත්තේය.
එය හොඳ පන්දු යැවීමකි. අද (28 වැනිදා) දිනයේදී නිශාන් පීරිස්ගෙන් ප්‍රභාත්ට ලැබුණේත් මාහැඟි සහයෝගයකි.
ඉනිම දෙකේදීම, නිශාන්ගෙන් නවසීලන්තයේ තරුණ තරුව වන රචින් රවීන්ද්‍රට ලැබුණේ අන්ද මන්ද පන්දු දෙකකි. පළමු ඉනිමේදී මැද ඉන්න එල්ලයේ පතිත වූ පන්දුව රචින්ගේ පා ඉන්න සොළවා ලූ අතර දෙවැනි ඉනිමේදීත් මැද ඉන්න එල්ලයේ පතිත වූ පන්දුව වමත් පිතිකරුවාගෙන් එපිටට ඇදී යමින් පිට ඉන්න මත තිබූ බේලය ඉවත් කළේය.
නිශාන් පීරිස් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින බවක් ප්‍රභාත්ට දැනුණේ නැත.
“එයා වගේ කෙනෙක් එක්ක පන්දු යවනවා කියන්නේ හරිම ලේසි දෙයක්. මේක එයාගේ මංගල ටෙස්ට් තරගය කියලා මට දැනුණේවත් නෑ”
“එයා ඒ තරමටම විශ්වාසනීයත්වයෙන් පන්දු යැව්වා විතරක් නෙමේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී එයාට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා හොඳටම පෙන්නුවා” යයි ද ප්‍රභාත් කීවේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ වමත් දඟ පන්දු යවන්නන් අතර, රංගන හේරත්ගෙන් පසුව ඉතාම දැඩි පාලනයකින් යුතුව පන්දු යැවූ ක්‍රීඩකයා වන්නේ ප්‍රභාත් ජයසූරියයි. පුහුණුවීම් වලදී ප්‍රභාත් දැඩි කැපවීමකින් යුතුව පන්දු යවන්නෙකි. දේශීය තරග වලදී වුවත් ප්‍රභාත්ගෙන් බුරුළක් ලබාගැනීම අපහසු බව දිමුත් කරුණාරත්න වරක් කීවේය.
“නියම කරන දේවල් හරියටෙ කරන කොට අවශ්‍ය දේ කොහොමත් ලැබෙනවා.
විශේෂයෙන්ම එක තැනකට පන්දු යවන්න මම කැමතියි. මම ඒක තදින් පුහුණු වෙනවා.... ඒත් තරගයන් තරගයට තණතීරු වෙනස් වෙනකොට, මම එක තැනකට පන්දු යැවීම පැත්තකින් තියලා ඒ තරගයට අවශ්‍ය ආකාරයට වෙනස් වෙනවා”
“සමහර තරග වලදී පිට ඉන්නෙන් එළියටම දාගෙන ඉන්නත් වෙනවා” යයි ප්‍රභාත් කීවේය.
පිතිකරුවන් වඩාත් ආක්‍රමණශීලී පහර කරා යාම ප්‍රභාත්ට ප්‍රසාදය දනවන්නකි.
“ඒ ගොල්ලන් ආක්‍රමණශීලී පහරවල් කරා යනවා නම් මම කැමතියි. ලකුණු ටිකක් යනවා තමයි. ඒත් කඩුලු දවාගන්න පුළුවන්” ප්‍රභාත් කියයි.
මේ දක්වා ඉනිමකදී කඩුලු 5 ක් බැගින් දවාගත් අවස්ථා 9 ක් සටහවන් කර ඇති ප්‍රභාත් ඒවායින් එකක් (කොළඹ එස්.එස්.සී. පිටියේදී) හැර අනෙක් සියලුම කඩුලු 5 ඉනිම සටහන් කර ඇත්තේ ගාල්ලේදීය. ගාල්ල ක්‍රීඩාංගණයේදී පමණක් තරග 8 කින් ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 69 කි.
දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන තණතීරුව පළමු වැන්න පැවැති තණතීරුවට වඩා තරමත් දැඩි බවකින් යුතු තණතීරුවකි. එහි දඟ කැවීමක් ලබාගැනීමට නම් පන්දුව තරමක් වැරෙන් එහි පතිත කළ යුතුය. ප්‍රභාත් මේ සාස්තරය හොඳින් දනී.
දැන් නවසීලන්ත පිලේ ඉතිරිව ඇත්තේ කඩුලු 5 ක් පමණි. එහෙත් 100 වැනි කඩුල්ලට ප්‍රභාත්ට තවත් කඩුලු 5 ක් ඕනෑ කර තිබේ. හෙට දිනයේදී ඒ කඩුලු 5 ම තමන් සතුකරගත හැකි නම්, එංගලන්තයේ ජෝර්ජ් ලෝමෑන් වසර 128 කට ඉහතදී කළ හපන්කමක් සමකිරීමේ අවස්ථාව ප්රභභාත් සතුවනු ඇත.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.