Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් (2023) තරගාවලියේ දෙවැනි තරගය ලෙස ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති තරගය සුපිරි ඕවරයේදී ජයගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. සුපිරි ඕවරයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 9 ක් රැස්කළ අතර ගෝල් කණ්ඩායම පන්දු 2 කදී ලකුණු 11 ක් රැස්කරමින් තරගය ජයගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 180 ක් ලබා තරගය සම තත්වයට පත් කළහ. අවසන් ඕවර කිහිපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 39 ක් රැස්කළ ඇලෙක්ස් රොස්, තරගය සුපිරි ඕවරයක් දක්වා රැගෙන ආවේය. හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 10 කින් ලකුණු 20 ක් රැස්කළ හේඩන් කේර්ගෙන් ඔහුට ඒ සඳහා අනගි සහායක් හිමිවිය.
මුලු ලකුණු සංඛ්‍යාව 2 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ අවිෂ්ක ප්‍රනාන්දුට සහ කුසල් මෙන්ඩිස්ට ආපසු ක්‍රීඩාගාරය වෙත ගොස් තරගය නැරඹීමේ අවස්ථාව උදාකර දීමට කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු සමත් විය. එහෙත් ඉන් නොසැළුණු ධනංජය ද සිල්වා (43) සහ කුසල් පෙරේරා (40) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 76 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් දඹුල්ල ඉනිම ගොඩනැගුහ.
මාස 4 කට පමණ පසුව විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළ කුසල් පෙරේරා සිය සුපුරුදු ප්‍රවේගකාරී පිතිහරඹය රටාවට අනුගත වෙමින් පන්දු 25 කදී ලාබගත් ලකුණු 40 හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සැරසුවේය. දසුන් ශානකගේ පන්දුවක් හමුවේ ගැසූ පුල් පහරකින් ඇදී ගිය පන්දුව හතරේ සීමාව අසලදී උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට කසුන් රාජිත සමත් වීමත් සමග කුසල්ගේ ඉනිම මෙන්ම දඹුල්ල ඉනිමේ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවද නිමාවට පත් විය.
ඉන් අනතුරව දඹුල්ල ලකුණු පුවරුවට තවත් ලකුණු 25 ක් එක්වන විට ධනංජය ද සිල්වා මෙන්ම සදීර සමරවික්‍රමද (13) දැවී යෑම හේතුවෙන් දඹුල්ල ඉනිම කඩා වැටිණ. එම අවස්ථාවේදී අසීරු තත්වයකට ඇද වැටී තිබූ දඹුල්ල කණ්ඩායම ඉන් ගොඩගත් ඇලෙක්ස් රොස්, 7 වැනි කඩුල්ල සඳහා හේඩ්න් කේර් සමග එක්ව ලකුණු 36 ක්ද, 8 වැනි කඩුල්ල සඳහා බිනුර ප්‍රනාන්දු සමග එක්ව ලකුණු 24 ක්ද එක්කරමින් යළිත් වරක් සිය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබාගත් අතර කලකට පසුව සිය පිත්තට පණ දුන් දසුන් ශානක පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග වේගවත් ලකුණු 42 ක් රැස්කළේය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී ළහිරු සමරකෝන් (නොදැවී 7) සමග එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 15 කදී ලකුණු 41 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද දසුන් සමත් විය.
ලකුණු පුවරුවට ලකුණු 22 ක් එක් වෙද්දී පළමු කඩුල්ල ලෙස ශානවාස් දහානිගේ පන්දුවක් හමුවේ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 3 කට දැවී ගියද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ භානුක රාජපක්ෂ (48) සහ ෂොවෝන් ඩැනියෙල් (33) ගෝල් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 26 කදී වාර්තා වූ ඩැනියෙල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය.
ඕවර 10 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 81 ක් ලබාගැනීමට ගෝල් කණ්ඩායම සමත්ව සිටියද, 13 වැනි ඕවරයේදී පිත්තේ දාරයේ වැදී ඉහළ ගිය ධනංජය ද සිල්වාගේ පන්දුවක් උඩ පන්දුවක් ලෙස රැකගැනීමට ඩීප් බැක්වඩ් පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි ශානවාස් දහානි සමත් වීමත් සමග භානුකට අර්ධ ශතකය පෙනි පෙනී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. ඒ වන විට පන්දු 34 කට මුහුණදී සිටි ඔහු හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සරසා තිබිණ.
ධනංජයගේ පන්දු 3 කට පිට පිටම හයේ පහර දෙකක් සහ හතරේ පහරක් එල්ල කර සිටියදී, නොතිබූ ලකුණක් කරා පැති මාරුකර ගැනීමට සකීබ් අල් හසන් ගත් උත්සාහයක් අසාර්ථක වීමෙන් අනෙක් අන්තයේ සිට දිව ආ ටිම් සෙයිෆට් (14) දුවද්දී දැවී යෑමකට හසුවිය. එතැන් සිට පන්දු 14 කට පසුව දහානි යැවූ පන්දුවක් පිත්තේ වැදී කඩුල්ල මත පතිත වීම හේතුවෙන් ලකුණු 23 ක් ලබා සිටි සකීබ්ටද පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.