Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජනසතු සේවා ක්‍රීඩා සංකීර්ණයට නව මුහුණුවරක්

ජනසතු සේවා ක්‍රීඩා සංකීර්ණයට නව මුහුණුවරක්

editorial - 2024 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත ප්‍රතිසංස්කරණය කරන ලද රත්මලානේ පිහිටි ජනසතුසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා මණ්ඩපය පසුගිය 14 වැනිදා ආසියානු ක්‍රිකට් සභාවේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් විවෘත කරනු ලැබ, ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ අයිතියට පවරා දෙන ලදි. 

මෙම ක්‍රීඩාංගණය මෙන්ම ක්‍රීඩා මණ්ඩපය අති නවීන පහසුකම්වලින් සමන්විතව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 60 කට ආසන්න මුදලක් වැය කර තිබේ. 

ජනසතුසේවා ක්‍රිකට් සංගමයේ සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලීන් අපෝන්සු සහ එහි ලේකම් උදය ඉමල්ෂ මහත්වරුන්ගේ ආරාධනයකට අනුව සභාපති ශම්මි සිල්වා මහතා මෙම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවිය.

තමන්ගේම ක්‍රීඩාංගණ නොමැති නමුත් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් සහ ක්‍රීඩා සමාජ අතර තරග පැවැත්වීම සඳහා ජනසතු සේවා ක්‍රීඩාංගණය බොහෝ විට යොදා ගැනේ. පාසල් ක්‍රිකට් තරගවලට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මූලික වයස් කාණ්ඩ තරගද මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමේ අවස්ථා සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර තිබේ. 

පුහුණුවීම් කිරීමේ පහසුකම් වලින් ද මෙම ක්‍රීඩාංගණය සමන්විතය. නුදුරේදීම මෙහි ලකුණු පුවරුවක් ද ස්ථාපිත කෙරේ.  එමෙන්ම අවට ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භාවිතා කළ හැකිවන පරිදි  අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රිකට් පුහුණුවීම් ශාලාවක් ද ජනසතු සේවා ක්‍රීඩාංගණයේ ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කර තිබේ. එහි ප්‍රගතිය සොයා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

මෙම ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාට අමතරව, එහි උප සභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ජනසතු සේවා සංගමයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලීන් අපෝන්සු සහ ජාතික සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි මහතාද ඇතුළු ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සාමාජිකයෝ රැසක් මේ අවස්ථාවට සහභාගිව සිටියහ.


අදහස් (0)

ජනසතු සේවා ක්‍රීඩා සංකීර්ණයට නව මුහුණුවරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.