Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට
කාන්තා ලෝක කුසලාන

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට

editorial - 2022 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර වෙලින්ටන්හිදී අද (24 වැනිදා) පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමිවූ අතර එම ලකුණත් සමග සිය ලකුණු සංඛ්‍යාව 9 ක් දක්වා ඉහළ දමාගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. 

ඕවර 10.5 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 61 ක් ලබා සිටි අතර මිග්නන් ඩු ප්‍රීස් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 38 ක් ලබා සිටියාය. දකුණු අප්‍රිකානු ඉනිමේ බිඳවැටුණ කඩුලු 4 න් 3 කටම හිමිකම් කීමට චිනෙලී හෙන්රි සමත් වූවාය. 

මේ දක්වා තරග 6 කට සහභාගි වී සිටින දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අද තරගය හැරුණු කොට සෙසු තරග 5 ම ජය ලබා අපරාජිතව සිටියේය. මූලික වටය යටතේ ඔවුන්ට තවත් තරගයක් ඉතිරිව ඇති අතර එය ලබන 27 වැනිදා ඉන්දියාවට එරෙහිව ක්‍රයිස්ට්චර්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායම තරමක් අවදානම් සහගත තත්ත්වයකට ඇද වැටිණ. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවුවද, ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සඳහා තවත් තරග 2 ක් අවසන් වන තෙක් බලා සිටීමට සිදුව ඇත.  

දැනට පවතින තත්ත්වය අනුව කොදෙව් කණ්ඩායමට අවසන් වටයට පිවිසීමට නම් බංග්ලාදේශය හමුවේ එංගලන්තය හෝ දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව පරාජයට පත්විය යුතුය. කෙසේ වුවත් එංගලන්තයට සහ ඉන්දියාවට අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කර ගැනීම සඳහා එම තරග දෙක ජයගැනීම අනිවාර්ය වී තිබේ. 

දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 10.5 කදී කඩුලු 4 කට 61 
(මිග්නන් ඩු ප්‍රීස් නොදැවී 38, චිනෙලී හෙන්රි 19/3) 

-036 


අදහස් (0)

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.