Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දින දෙකක් ඇතුළත දෙවැනි ‘පුදුමය’ වාර්තා කරමින් හොබාර්ට්හිදී අද (17 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ස්කොට්ලන්තය විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 42 කින් පරාජය කරන ලදි. මෙම පරාජයත් සමගින් දෙවතාවක්ම විස්සයි-20 ලෝක ශූරයන් වූ කොදෙව් පිලද අවදානම් කලාපයට වැටී සිටී.
අන්තර්ජාතික විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් අනුව බටහිර ඉන්දීය කොදෙව් පිල 7 වැනි ස්ථානයේ සිටියද ස්කොට්ලන්තයට හිමිවී ඇත්තේ 15 වැනි ස්ථානයයි.
ලකුණු 161 ක ඉලක්කයක් කරා ගිය කොදෙව් පිතිකරුවෝ ඕවර 18.3 ක් ඇතුළතදී ලකුණු 118 කට දැවී ගියහ. කොදෙව්වෝ වරෙක කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබා සිටියද, ඕවර 12 ක් ඇතුළතදී, ලකුණු 65 කට ඉතිරි පිතිකරුවෝ 9 දෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගියහ. හිටපු නායක ජේසන් හෝල්ඩර් (38) කණ්ඩායම වෙනුවෙන් හුදෙකළා සටනක නිරතව සිටියදී මාක් වොට් (12/3) සහ මයිකල් ලීක්ස් (15/2) දෙදෙනා ස්කොට්ලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූහ.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක නිකලස් පූරන්, පළමුව පන්දු යැවීම තෝරාගත් නමුත් කඩුලු 5 කට ලකුණු 160 ක් ලබාගැනීමට ස්කොට්ලන්ත පිතිකරුවෝ සමත් වූහ.
හයවැනි ඕවරයේදී වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින් තරගය මඳක් නතර කළද එයින් ඕවර සංඛ්‍යාවට බලපෑමක් නොවිණ. එහෙත් වර්ෂාවෙන් පසුව කොදෙව් පන්දු යවන්නෝ ඉක්මනින් කඩුලු දෙකක් දවාගත්හ. ඉනිමේ හරි අඩක් නිමාවන විට ස්කොට්ලන්තය සතුව තිබුණේ ලකුණු 72 ක් පමණ.
කෙසේ වෙතත් අග්ගිස්සේ ඕවර 4 න් ලකුණු 38 ක් ලබාගත් ස්කොට්ලන්ත පිතිකරුවෝ ලකුණු 160 ක් කරා තම කණ්ඩායම කැඳවාගෙන ගියහ. ඉනිම පුරාම නොදැවී සිටි ජෝර්ජ් මුන්සි පන්දු 53 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 66 ක් ලබාගත්තේ නැංගුරම බාර පිතිකරුවාගේ කාර්යය අඩුපාඩුවකින් තොරව සපුරාලමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 9 කින් සමන්විත විය.
අල්සාරි ජෝෂප් සහ ජේසන් හෝල්ඩර් කඩුලු දෙකක් බැගින් දවාගත් නමුත් හෝල්ඩර් තමන්ගේ ඕවර 3 ලකුණු 14 කට තබාගත්තේය.
විස්සයි-20 ලෝක කුසලාන දෙවතාවක් දිනා සිටින ලෝකයේ එකම කණ්ඩායම වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ වැටී සිටි තත්ත්වය හේතුවෙන් මේ වසරේදීත් සුදුසුකම් තේරීමේ තරගාවලියකට සහභාගිවීමට සිදුව තිබේ.
කොදෙව් පිලේ සිටි ප්‍රබලතම විස්සයි-20 ක්‍රීඩකයන් වන ක්‍රිස් ගේල්, කිරන් පොලාර්ඩ් සහ ඩ්වේන් බ්‍රාවෝ මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි නොවෙති. මෙම තත්ත්වය මත, වි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කොටසට සුදුසුකම් ලබාගැනීමට නම්, ස්කොට්ලන්තය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණඩායම් හා තරග වදිමින් ‘බී’ කාණ්ඩයේ මුල් ස්ථාන දෙකින් එකක් සොයාගැනීමට කොදෙව් පිලට සිදුවෙයි.
ස්කොට්ලන්ත කණ්ඩායම පසුගිය වසරේදීත් ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.
ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 160
(ජෝර්ජ් මන්සි නොදැවී 66, මයිකල් ජෝන්ස් 20, රිචී බැරිංග්ටන් 16, කැලම් මැක්ලියොඩ් 23, ක්‍රිස් ග්‍රේවීස් නොදැවී 16, අල්සාරි ජෝෂප් 28/2, ජේසන් හෝල්ඩර් 14/2)
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 18.3 කදී සියලු දෙනා දැවී 118
(කයිල් මේයර්ස් 20, එවින් ලුවිස් 14, බ්‍රෙන්ඩන් කිං 17, ජේසන් හෝල්ඩර් 38, මාක් වොට් 12/3, බ්‍රැඩ් වීල් 32/2, මයිකල් ලීස්ක් 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.