Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත ශක්තිය මේ යයි මොනවට ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති නිල නොවන එක්දින තරගයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 86 ක විශිෂ්ට ජයක් අත්පත් කරගත්හ. පළමු තරගයේදී කඩුලු 4 ක පරාජයක් ලැබූ නමුත් අද තරගයේදී අති විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, පසුපසින් පැමිණ 1-1 ක් ලෙසින් තරගාවලිය සමකර ගත්තේ තරගාවලියේ තවත් එක තරගයක් ඉතිරිය තිබියදීය.
ලයන්ස් පිලේ තුන්වැනි කඩුල්ල බිඳ වැටීමට පෙර, ආර්. ප්‍රේමදාස තණතීරුවේ අද දිනයේ සංඛ්‍යා දත්ත සටහන් වූයේ කඩුලු 9 කට ලකුණු 479 ක් ලෙසිනි. එවන් තණතීරුවකදී සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ දුෂාන් හේමන්ත සිය පන්දු යැවීම 8.1-0-43-5 ක් ලෙසින් සටහන් කළේය.
ලයන්ස් පිලට එරෙහිව පසුගිය බදාදා පැවැති පළමු එක්දින තරගයේදීත් ලකුණු 56 කට කඩුලු 3 ක් දවාගත් පා දඟ පන්දු යවන්නා, අද තරගයේදී මැතිව් ෆිෂර් දවාගැනීම සඳහා ගුවනට පැන, තනි අතින් උඩපන්දුව ඩැහැගන්නා අයුරු දැකගැනීමට ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් නොසිටීම අවාසනාවකි.
ලයන්ස් පිතිකරුවෝ, ලකුණු 316 ක ඉලක්කයක් කරා යමින් සිටියහ. තරගයේ 28 වැනි ඕවරයේදී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 කට 164 ක් ලෙසිනි.
වර්තමානයේදී එංගලන්ත පිතිකරුවන් අනුගමනය කරන ආක්‍රමණශීලී පිතිහරඹ රටාව අනුව, එතැන් සිට ජයග්‍රහණයට අවශ්‍ය වූ ලකුණු 152, ඕවර 22 කින් ලබාගැනීම ඔවුනට කජ්ජක් නොවූවත් හදිසියේම තරගයට කඩා වැදුණු දුෂාන් හේමන්ත සිය තුන්වැනි ඕවරයේදී පන්දු දෙකක් ඇතුළත කඩුලු දෙකක් දවාගත්තේ ලයන්ස් ඉනිම ඉරිතලා හරිමිනි.
ඊළඟ ඕවරයේදී දුනිත් වෙල්ලාලගේ විසින් ජේම්ස් රිව් පිටියෙන් ඉවත් කරන ලදි.
දුෂාන් හේමන්ත සහ දුනිත් වෙල්ලාලගේ එක්ව ඕවර 4 ක් ඇතුළත පිතිකරුවන් සිව් දෙනකු පිටියෙන් ඉවත් කිරීමෙන් පසුව ලකුණු පුවරුව කඩුලු 6 කට 175 ක් ලෙසින් වෙනස් විය. එතැන් සිට නැඟිටීමක් නැති වූ බැවින් අවසන් කඩුලු 4 ත් ලකුණු 30 ක් තුළ ඇද වැටුණේ ලයන්ස් ඉනිම ලකුණු 229 කට සීමා කරමිනි.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තේය. ලසිත් කෲස්පුල්ලේගේ විශිෂ්ට පිතිහරඹයත්, මැද පෙළ පිතිකරුවන්ගේ සහයෝගයත් නිසා කිසිදු අපහසුතාවකින් තොරව ලකුණු 300 කඩයිම පසුකර ගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියමිත ඕවර 50 අවසන කඩුලු 7 කට ලකුණු 315 ක් ලබාගත්තේය.
ලයන්ස් පන්දු යවන්නන් හමුවේ තමන්ට ලැබුණු සෑම අවස්ථාවකින්ම නිසි ප්‍රයෝජන ගත් ලසිත් කෲස්පුල්ලේ පන්දුවට පහර දුන්නේ සිය අනාගත ගමන් මාර්ගය එළි පෙහළි කරගනිමිනි. එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් හමුවේ කෲස්පුල්ලේගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 19 ක්, 116 ක්, 128 ක්, 47 ක්, 4 ක් සහ 73 ක් වශයෙනි. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාවන්ට වඩා කෲස්පුල්ලේගේ පිතිහරඹයේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ ලයන්ස් පන්දු යවන්නන් හමුවේ ඔහු ලකුණු ලබාගත් විශ්වාසනීය ආකාරයයි.
ශ්‍රී ලංකා ‘ඒ’කණ්ඩායම ආරම්භයේ සිටම යහපත් ලකුණු වේගයක් පවත්වාගෙන ගියේය.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 11 කට දැවී ගිය නමුත්, කෲස්පුල්ලේ සහ නුවනිඳු ප්‍රනාන්දු එක්ව අලංකාර පිතිහරඹයක නිරත වෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක් එක්කළහ.
16 වැනි ඕවරයේ පළමු පන්දුවේදීම 100 වැනි ලකුණ පුවරුවට එක්කළ පිතිකරුවන් දෙදෙනාගෙන් නුවනිඳු අංක 3 ස්ථානයට උචිත, වඩාත් තැන්පත් සහ ස්ථාවර ආකාරයෙන් පන්දුවට පහර දෙමින් සිටියේය. නුවනිඳු මෙන් දෙගුණයක වේගයෙන් ලකුණු ලබාගනිමින් සිටි කෲස්පුල්ලේ පන්දු 39 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ ඊට හතරේ පහර 9 ක් ඇතුළත් කරමිනි.
ලයන්ස්ලාගේ පන්දු යැවීම නම් කිසිම කමකට නොවීය. එහි ආක්‍රමණයක් තිබුණේම නැත. මෙම තත්ත්වයෙන් නිසි ප්‍රයෝජන ගත් කෲස්පුල්ලේ තමන්ට රිසි තැනට පන්දුව යවමින් පහසුවෙන් ලකුණු කරා යන්නට විය. මේ අතරවාරයේදී නුවනිඳු ක්‍රීඩකයන් අතර පරතරයන් තෝරා බේරා ගනිමින් ලකුණු කරා ගිය බැවින් ඉනිමේ අඩක් නිමාවීමත් සමගින් 150 වැනි ලකුණත් පුවරුවට එක්විය.
මෙම තරගවලියේදී පළමු වතාවට පිටියට පිවිසි දකුණතින් පා දඟ පන්දු යවන මේසන් ක්‍රේන් පන්දුව තියුණු ලෙසින් දඟ කැවූවත් ඔහුගෙන් ලකුණු ලබාගැනීම එතරම් දුෂ්කර නොවීය. ක්‍රේන් කඩුලු 3 ක් දවාගත්තේ කෲස්පුල්ලේගේ ඉනිමත් ලකුණු 73 කට නතර කරමිනි. කෲස්පුල්ලේට ශතකය පෙනි පෙනී තිබියදී, පිත්තේ නිසි පරිදි නොගැටුණු පන්දුවක් මිඩ් විකට්හි සිටි ටොම් ප්රෙස්ට්ගේ දෑත් අතර නතර විය.
සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක් එක්කළ ඇන්ජලෝ මැතිව්ස් (50) සහ සධීර සමරවික්‍රම (40) දෙදෙනා මැද පෙළ ශක්තිමත් කළහ. පන්දු 52 කින් සිය අර්ධ ශතකය ලබාගත් මැතිව්ස්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 කි. අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව ඉතිරිව තිබූ ඕවර කිහිපයේදී ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කළ ප්‍රවීණයාගේ පිත්තේ කොණක වැදුණු පන්දුව ගුවනේ බොහෝ ඉහළ ගොස් පැමිණ ඩීප් මිඩ් විකට්හි සිට ජේකබ් බෙතිල්ගේ දෑත් අතර සැඟව යද්දී මැතිව්ස් ආපසු ක්‍රීඩාගාරයට පියමැන්නේය.
සධීර සහ මැතිව්ස් දෙදෙනාම ලකුණු 14 ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට ගිය නමුත් සුමින්ද ලක්ෂාන් සහ දුනිත් වෙල්ලාලගේ දෙදෙනා අභියෝගයකින් තොරවම කණ්ඩායම ලකුණු 300 කඩයිමෙන් ඔබ්බට කැඳවාගෙන ගියහ.
ඉනිමේ අවසන් පන්දුවේදී සුමින්ද ලක්ෂාන් ලකුණු 35 කට දුවද්දී දැවී ගිය නමුත් ඔහු පන්දුවට පහර දුන්නේ ලයන්ස් පන්දු යවන්නන් හමුවේ ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමේ හැකියාව මොනවට ප්‍රදර්ශනය කරමිනි. ලක්ෂාන් පන්දු 27 කින් ලබාගත් ලකුණු 35 ට ඇතුළත් වූයේ හතරේ පහර දෙකක් සහ එක හයේ පහරකි. එහෙත් මැතිව් ෆිෂර් හමුවේ ගැසූ චිත්තාකර්ශනීය ‘හුක්’ පහරකින් ලබාගත් ලකුණු 6, සුමින්දගේ පිතිහරඹ හැකියාව ගැන බොහෝ දේ කියා දුන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.