Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නයීම් - සකීබ් - මුස්තෆිසුර් බංග්ලාදේශය දිනවති

නයීම් - සකීබ් - මුස්තෆිසුර් බංග්ලාදේශය දිනවති

editorial - 2021 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

සකීබ් අල් හසන්ගේ තුන් ඉරියව් දස්කම් සහ මුස්තෆිසුර් රහමන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඕමානයට එරෙහිව අල් ඇමිරත් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය ඕමානය ඕවර 20 අවසානයේ ලකුණු 127 කට සීමා කිරීමට මුස්තෆිසුර් රහමන් සහ සකීබ් අල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුස්තෆිසුර් ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගත් අතර ඕමාන පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සකීබ් ලකුණු 28 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

ඕමාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ජිතින්දර් සිං පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය. එහිදී කාශ්‍යප් ප්‍රජාපතී පන්දු 18 කින් ලකුණු 21 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. කෙසේ වුවත් පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම ඕමාන කණ්ඩායමට විශාල පාඩුවක් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසාන‍යේ සියලු දෙනා දැවී ලකුණු 153 ක් ලබාගත්තේය. මුලු ලකුණු සංඛ්‍යාව 21 ක් වන විට ලිටන් දාස් (6) සහ මෙහදි හසන් (0) පිටියෙන් ඉවත් කිරීමට බිලාල් ඛාන් සහ ෆයාස් බට් සමත් වුවද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ආරම්භක පිතිකරු මෙ‍ාහොමඩ් නයීම් (64) සහ සකීබ් අල් හසන් (42) බංග්ලාදේශ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

එහිදී පන්දු 50 කට මුහුණදුන් නයීම් හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 29 කදී වාර්තා වූ සකීබ්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 10 කට මුහුණදුන් නායක මහමදුල්ලා රියාද් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 17 ක් රැස්කළේය.

 

බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු සියලු දෙනා දැවී 153

(මොහොමඩ් නයීම් 64, සකීබ් අල් හසන් 42, බිලාල් ඛාන් 18/3, ෆයාස් බට් 30/3, කලීමුල්ලා 30/2) 

 

ඕමානය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 127

(ජිතන්දර් සිං 40, කාශ්‍යප් ප්‍රජාපතී 21, සීෂාන් මකසූද් 12, මොහොමඩ් නයීම් නොදැවී 14, මුස්තෆිසුර් රහමන් 36/4, සකීබ් අල් හසන් 28/3)

 


අදහස් (0)

නයීම් - සකීබ් - මුස්තෆිසුර් බංග්ලාදේශය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.