Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තයේ මුහුණු රතුවුණ දිනයක්
ගාල්ල ටෙස්ට් තරගය - 2

නවසීලන්තයේ මුහුණු රතුවුණ දිනයක්

editorial - 2024 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

දිනේෂ් චන්දිමාල් (116), ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 78) සහ කමිඳු මෙන්ඩිස් (නොදැවී 51) එක්ව සම්පූර්ණ දිනයක් පුරා නවසීලන්ත පන්දු යවන්නන් සහ පන්දු රකින්නන්ව ගිනි අව්වේ වෙහෙස කරවූහ. 

අද දිනය පුරා නවසීලන්ත පන්දු රකින්නන් වෙතින් උඩපන්දු 3 ක් ගිළිහී ගිය අතර ඉතාම පහසු ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් ද ටෙම් බ්ලන්ඩ්ල් අතින් ගිළිහී ගියේය. ගාල්ල ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට මුහුණු රතු කරගත් නවසීලන්ත පිලට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 306 ක් ලබා සිටියේය..

ඒ වන විටත් කඩුලු රැකගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා අතර අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 85 ක් වී තිබිණ. මේ අතර තම මංගල ටෙස්ට් තරගයේ සිට පිට පිටම ටෙස්ට් තරග 8 කදී ලකුණු 50 ක් ඉක්මවා ලබාගනිමින් කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තාවක් පිහිටුවීය. සිය මංගල ටෙස්ට් තරගයේ සිට පිට පිටම ටෙස්ට් තරග 7 කදී ලකුණු 50 කට වැඩියෙන් ලබාගෙන සිටින පාකිස්තානයේ සවුද් ශකීල් ශ්‍රී ලාංකික වමත් පිතිකරුවාට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේය. 

තවමත් 8 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින කමිඳු මෙන්ඩිස් අද සවස් වන විට නොදැවී ලකුණු 51 ක් ලබා සිටියේ සිය ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 873 ක් දක්වා ඉදිරියට ගෙන යමිනි. ඊට ශතක 4 ක් සහ අර්ධ ශතක 5 ක් ඇතුළත් වෙයි. 

ඕවර 80 ක් නිමාවේදී නවසීලන්ත නායක ටිම් සවුති දෙවැනි නව පන්දුවත් ලබාගත් නමුත් එයින් සිදුවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 57 ක් එකතුවීම පමණි. නවසීලන්ත නායකයා වේග පන්දු යවන්නකු වන නමුත් දෙවැනි නව පන්දුවෙන් යැවූයේ ඕවර 2 කි. පසුව ඔහුගේ අන්තයෙන් පන්දු යැවිමට අජාස් පතෙල් කැඳවූයේය. 

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විනාඩි 3 ක් ඇතුළත දැවී ගියද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 විශිෂ්ඨ සම්බන්ධතාවක් ගොඩනැංවූ දිමුත් කරුණාරත්න (46) සහ දිනේෂ් චන්දිමාල් (116) ශ්‍රී ලංකා කණ්ඩායමට අමාරුවේ වැටෙන්නට නොදුන්හ. දිමුත් කරුණාරත්න සිය අර්ධ ශතකය පෙනි පෙනී දුවද්දී දැවීගිය ද චන්දිමාල් සමගින් එක්ව ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඇන්ජලෝ මැතිව්ස් තේ පානයෙන් පසුව කමිඳු මෙන්ඩිස් හා එක්ව නවසීලන්ත පන්දු යවන්නන්ට දඬුවම් දෙන්නට විය. 

දිමුත් කරුණාරත්න දැවී ගියේ දිනේෂ් චන්දිමාල්ගේ වැරැද්දෙනි. එහෙත් එහි වගකීම බාරගත් හිටපු නායකයා, සිත ධෛර්ය කරගනිමින් සිය 15 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තා පමණක් නොව තේ පානය දක්වාම තමාගේ කඩුල්ල ආරක්‍ෂා කරගත්තේය. විනාඩි 220 කදී පන්දු 171 කට මුහුණ දෙමින් චන්දිමාල් ලබාගත් ශතකයට හතරේ පහර 13 ක් ඇතුළත් වී තිබිණ.
 
දිමුත් කරුණාරත්න ලකුණු 05 ක් ලබා සිටියදී සහ ලකුණු 17 ක් ලබා සිටියදී දවාගැනීමේ පහසු අවස්ථා දෙකක්ම දුන් නමුත් නවසීලන්ත ක්‍රීඩකයන් වෙතින් ඒ දෙකම ගිළිහී ගියේය. සිය 47 වැනි ලකුණ සොයා දිව ගිය දිමුත් ආපසු හැරී දිව ආ නමුත් පන්දුව වීසි කළ ග්ලෙන් පිලිප්ස් සහ ටොම් ලෙතම් දෙදෙනා දිමුත්ට වඩා ඉක්මන් වූහ.  

පුදුමාකාර අත්ගුණයකින් යුත් ධනංජය ද සිල්වා පිට පිටම හයවැනි වතාවත් ටෙස්ට් තරගයකදී කාසියේ වාසිය දිනාගත්තේය. පසුගිය මාර්තු මාසයෙන් මෙපිට තවමත් ටෙස්ට් තරගයකදී කාසියේ වාසිය අහිමි කර නොගත් ශ්‍රී ලංකා නායකයා කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේ ගාල්ල ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනාගන්නා ඕනෑම නායකයකුගේ පළමු තේරීම පන්දුවට පහර දීම වන බැවිනි. 

ක්‍රිකට් ක්‍රීඩාවේදී කලක් තිස්සේ පිළිගත් පොදු න්‍යාය වූයේ ජයග්‍රාහී කණ්ඩායමක් වෙනස් කමකින් තොරව ඊළඟ තරගයටත් යෙදවීමයි. එහෙත්.... 

පළමු ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් අද තරගයට පිවිස සිටින අතර පළමු ටෙස්ට් තරගය පරාජය වූ නවසීලන්ත කණ්ඩායම කිසිම වෙනස්කමකින් තොරව මෙම තරගයට පිවිස සිටී. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

නවසීලන්තයේ මුහුණු රතුවුණ දිනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.