Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඉන් සුවය ලැබූ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සහ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා අද (7 වැනිදා) යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වූහ. තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 3 වැනිදා ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව ගියේය.
ජනවාරි මස 31 වැනිදා කරන ලද පී.සී.ආර්. පරීක්ෂණකදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනුණ නුවන් තුෂාර කණ්ඩායමෙන් ඉවත්ව නිරෝධායන ක්‍රියාවලියකට භාජනය වූ අතර කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරන රුමේෂ් රත්නායක මහතාටද එම ඉරණමම අත්විය.
කෙසේ වුවත් ඉන් දින කිහිපයකට පසුව යළිත් වරක් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණකදී දෙදෙනාම ඍණාත්මක ප්‍රතිඵල පෙන්නුම් කළ බැවින් ඉකුත් 5 වැනිදා ඔවුන් ඕස්ට්‍රේලියාව බලා පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යෑමට පෙර අවසන් වරට (මෙම මස 2 වැනිදා) මුහුණදුන් පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් චාමික කරුණාරත්නද මේ වන විට සුවය ලබා ඇති අතර ඔහුද හෙට (8 වැනිදා) දිනයේදී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව දැනගන්නට ලැබේ.
නුවන් තුෂාර සහ චාමික කරුණාරත්න හැරුණුකොට සංචිතයට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයන් 18 දෙනා පසුගිය දිනවලදී කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය සමග සිඩ්නිහිදී පුහුණුවීම්වල නිරත වූහ. අද කණ්ඩායම සමග එක්වූ නුවන් තුෂාරද හෙට සිට පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම තරගාවලිය සඳහා වේග පන්දු යැවීමේ පුහුණු උපදේශකවරයකු ලෙස පත්කර ඇති හිටපු විස්සයි-20 නායක ලසිත් මාලිංගද මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව සිටියි. සංචිතයේ සිටින වේග පන්දු යවන්නන් වෙනුවෙන් ඔහු වෙනම පුහුණු සැසි කිහිපයක් පවත්වා ඇතැයිද දැනගන්නට ලැබේ.
නුවන් තුෂාරට සහ චාමික කරුණාරත්නට අමතරව දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු සහ ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ වේග පන්දු යවන්නන් ලෙස මෙම සංචාරයේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති. තරගාවලියේ පළමු විස්සයි-20 තරගය මෙම මස 11 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
දෙවැනි තරගයද 13 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර තෙවැනි තරගය 15 වැනිදා මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදීද, සිවුවැනි සහ පස්වැනි තරග පිළිවෙලින් 18 සහ 20 යන දිනවලදී මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.