Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු එක්දින තරගයට වැස්ස හරස් වෙයි

පළමු එක්දින තරගයට වැස්ස හරස් වෙයි

ශනුක අරවින්ද - 2013 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

සංචාරක නවසීලන්ත පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (10) පැවැති (දිවා/රාත‍්‍රි) තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 289 ක ඉලක්කය හඹාගිය නවසීලන්ත ඉනිමේ පස්වැනි ඕවරයේදී වාර්ෂාව ඇද හැළීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවෝ රාත‍්‍රි 9.00 ට තීරණය කළහ.

ලසිත් මාලිංග පළමු  ඕවරයේ අවසන් පන්දුවේදී ඇන්ටන් ඩෙවිසිච් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගනිමින් ශ‍්‍රී ලංකාවට හොද ආරම්භයක් ලබා දීමට සමත් විය.

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අගනා ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 63 කදී හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස්කිරීමට සමත් විය. ඇන්ජලෝ මැතිව්ස් පන්දු රකින්නන්ගේ හිසට ඉහළින් පන්දුව ස්ථානගත කරමින් ලබාගත් හතරේ පහර ක‍්‍රීඩාංගණයට රැස්ව සිටි පේ‍්‍රක්‍ෂකයෝ උද්දාමයට පත් කළහ.

පළමු පන්දුවේදීම කඩුල්ලක් බිද වැටීමන් අනතුරුව තිලකරත්න ඩිල්ෂාන් (81) සහ කුමාර් සංගක්කාර (79) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 288 ක් දක්වා ඒමට මග සකස් කර දුන්හ.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 114 කදී හතරේ නවයක් සමගින් ලකුණු 81 ක් ලබා සිටියදී සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. කොරි ඇන්ඩසන් යැවූ ඉනිමේ 38 වැනි  ඕවරයේ දෙවැනි සහ පස්වැනි පන්දුවට අලංකාර ‘ඩිල්ස් කූප්’ පහර දෙකින් හතරේ පහර දෙකක් ලබාගත් ඩිල්ෂාන්, හයවැනි පන්දුවට ද ‘ඩිල්ස් කූප්’ පහරක් ගැසීමට යෑමෙන් දැවී නොයන්නට පහසුවෙන් ශතකය කරා යෑමේ අවස්ථාව තිබුණි.

වේගවත් ඉනිමක් දියත් කළ කුමාර් සංගක්කාර පන්දු 81 කදී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 79 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන මහේල ජයවර්ධන ලකුණක් ලබා සිටියදී දැවී නොගියේ නම් ශ‍්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව මීට වඩා වැඩි වීමට ඉඩ තිබුණි.

කයිල් මිල්ස් යැවූ ඉනිමේ පළමු පන්දුවේම දිමුත් කරුණාරත්න කඩුල්ල මුවා කිරීමට හසුවී දැවී යෑම ශ‍්‍රී ලංකා පිලට අවාසිදායක තත්ත්වයක් බවට පත්විය.

නවසීලන්ත පිලේ නායක කයිල් මිල්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

තරගාවලියේ දෙවැනි තරගය අනිද්දා (12 වැනිදා) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේම දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ.

ලකුණු පුවරුව


අදහස් (9)

පළමු එක්දින තරගයට වැස්ස හරස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.