Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රේමසර ඈපාසිංහ චරිතාපදානය 6 දා එළිදකී

ප්‍රේමසර ඈපාසිංහ චරිතාපදානය 6 දා එළිදකී

editorial - 2023 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ ක්‍රිඩා විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහයන් ගේ දිවි සැරියේ රසාලිප්ත තොරතුරු ඇතුලත් “ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය - ප්‍රේමසර ඈපාසිංහ” ග්‍රන්ථය දෙසැම්බර් මස 06 වන දින සවස 3.00ට නාලන්දා විද්‍යාලීය මලලසේකර ශාලාවේදී ප්‍රකාශයට පත්කෙරෙයි. 

සුසර ප්‍රකාශනයක් වන මෙම ග්‍රන්ථය මාධ්‍යවේදී අතුල රංජිත් වෙදමේස්ත්‍රීගේ සම්පාදනයකි. මෙම ග්‍රන්ථය ජනගත කිරීම නාලන්දා විදුහල්පති ඉරාන් චම්පික සිල්වා මහතා ප්‍රමුඛ ආදි නාලන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අජිත් ගලප්පත්ති මහතා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ප්‍රේමසර ඈපාසිංහයන්ගේ දිවිය අලලා සැකසුනු වාර්තාමය චිත්‍රපටයක් ද එදින එළිදැක්වීමට නියමිතය. වසර 100 ක් සපුරන නාලන්දා විදුහල දේශ දේශාන්තරයන්හි රන් අකුරින් ලියවූ ආදි නාලන්දීයන් ඇගයීමේ ප්‍රථම පියවර වශයෙන් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කෙරෙයි. 

නාලන්දාවෙන් සිප් සතර හදාරා, නාලන්දා ජේ්‍යෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු ලෙසත්, පසුව විද්‍යාලයේම ආචාර්යවරයකු හා ක්‍රීඩා පරිපාලකයකු ලෙසත් කටයුතු කළ ප්‍රේමසර ඈපාසිංහ මහතා, ගුවන් විදුලි විස්තර විචාරකයකු ලෙසින්, ක්‍රිකට් ක්‍රිඩාව ශ්‍රී ලංකාවේ ගම් නියම් ගම් තුළට ගෙන යාමට අමිල මෙහෙවරක් කළේය. ක්‍රීඩා විස්තර විචාරක ක්‍ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් කළ ඈපාසිංහ මහතා, තමන්ගේ දැනුම සහ අත්දැකීම් නව පරපුරට උරුම කරදීමට මෙන්ම පාසල් මට්ටමේ සිට ක්‍රිකට් විස්තර විචාරකයින් පුහුණු කිරීමත් උත්සුක වූ අයෙකි. 

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අතර ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වෙයි. 

- 213 


අදහස් (0)

ප්‍රේමසර ඈපාසිංහ චරිතාපදානය 6 දා එළිදකී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.