Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය 500 ක් ගහලත් ඉනිමකින් පරාදයි
මුල්තාන් ටෙස්ට් තරගය

පාකිස්තානය 500 ක් ගහලත් ඉනිමකින් පරාදයි

editorial - 2024 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි : සැකසුම - දමින්ද විජේසූරිය)

ටෙස්ට් තරගයකදී කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායමක් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට යනවිට ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ පළමු ඉනිමේදී හැකිතරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමයි. මුල්තාන් ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 556 ක් ලබාගත් නමුත් පාකිස්තානුවෝ ඉනිමකින් පරාජය වූහ. 

එංගලන්ත පන්දු යවන්නන් මෙල්ල කිරීමට ඉටාගෙන පිතිකරුවන්ටම සුදුසු තණතිරුවක් සැකසූ පාකිස්තානුවෝ අනුන්ට කැපූ වලේ තමන්ම වැටුණහ. පාකිස්තානු දෙවැනි ඉනිමේදී ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගත් ජැක් ලීච්, තරගයේ අවසන් දිනය වූ අද (11 වැනිදා) දිවා ආහාරයට පෙරම තරගය අවසන් කළේය. එංගලන්තයට ඉනිමක සහ ලකුණු 47 ක ජයග්‍රහණයක් අත්විය. 

මෙම ජයග්‍රහණය පාකිස්තානු භූමියේදී එංගලන්තය පිට පිටම ලබාගත් සිව්වැනි ටෙස්ට් ජයග්‍රහණයයි. වසර දෙකකට ඉහතදී පැවැති ටෙස්ට් තරගාවලියේදීත් එංගලන්තය 3-0 ක ජයක් අත්කර ගත්තේය. එහෙත් ඊට පෙර වසර 61 ක කාලයේදී එංගලන්තය පාකිස්තානයේදී ජයගෙන තිබුණේ ටෙස්ට් තරග 2 ක් පමණකි. 

මේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම තත්ත්වයයි. වෙනත් ආකාරයකින් කිවහොත් ‘බස්බෝල්’ න්‍යායේ හපන්කමයි. පාකිස්තානය ලබාගත් ලකුණු 556 ට පිළිතුරු දුන් එංගලන්තය සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 7 කට ලකුණු 823 ක් ලබාගත්තේ ඕවර 150 කිනි. ඕවරයකදී ලකුණු 5.48 ක වේගයෙනි. 

එංගලන්තයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 454 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ජෝ රූට් (262) සහ හැරී බෲක් (317) එක්ව තරගය උඩු යටිකුරු කළහ. දෙදෙනාගේ පිතිහරඹය හේතුවෙන් එංගලන්තයට ලකුණු 267 ක මුල් ඉනිමේ වාසියක් අත්විය. 

එංගලන්ත පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් සිය දෙවැනි ඉනිමේදී ලකුණු 267 ක් ලබාගත යුතු වූ නමුත් පාකිස්තානුවෝ සිය දෙවැනි ඉනිමේදී ලකුණු 82 කට කඩුලු 6 ක් අහිමි කරගත්හ. එම අවස්ථාවේදී එක්වූ අඝා සල්මන් (63) සහ අමාර් ජමාල් (නොදැවී 55) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් පවත්වමින් තරගය පස්වැනි දිනයටත් ගෙන ගියහ. එහෙත් අද පෙරවරුවේදීම අඝා ෂල්මාන් දවාගත් ජැක් ලීච්, එංගලන්තයට ජයග්‍රහණයේ මාවත විවර කර දුන්නේය. එතැන් සිට තරගය පැවැතියේ විනාඩි 32 ක කාලයක් පමණි. 

මෙම තරගයේදී සිය 6 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගත් ජෝ රූට්, ටෙස්ට් ලකුණු 12,664 ක් ලබාගනිමින් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලබාගැනීමේ වාර්තාව හිමිකර ගත්තේය. මෙම තරගයේදී ලබාගත් ලකුණු 267, ජෝ රූට්ගේ තරග 147 ක ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ලෙසින් සටහන් වේ. 

මේ වනවිට ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ලයිස්තුවේ 5 වැනි ස්ථානයේ සිටින ජෝ රූට් (12,664) සහ පෙරමුණේ සිටින සචින් තෙන්ඩුල්කාර් (15,921) අතර ඇත්තේ ලකුණු 3257 ක වෙනසකි. 

මෙම පරාජය පාකිස්තානු නායක ශාන් මසූඩ්ගේ නායකත්වය යටතේ පිට පිටම හිමිවූ හයවැනි ටෙස්ට් පරාජයයි. ඕස්ටේ්‍රලියානුවන් හමුවේ ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය වූ පාකිස්තානුවෝ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලිය 2-0 ක් ලෙසින් පරාජය වූහ. 

පාකිස්තානයේදී පැවැති අවසන් ටෙස්ට් තරග 11 දීම පාකිස්තානයට ජයග්‍රහණයක් අත්වී නැත. ඔවුන් අවසන් වරට පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් ජයගෙන ඇත්තේ, දකුණු අප්‍රිකානු පිලට එරෙහිව 2021 දීය. 

එංගලන්තය සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලිය තරග 3 කින් සමන්විතය. දෙවැනි තරගය ලබන 15 වැනිදා මුල්තාන් හිදීම ආරම්භ වන අතර තුන්වැනි තරගය 24 වැනිදා රාවල්පිණඩි නුවරදී ආරම්භ වෙයි. 


පාකිස්තානය - පළමු ඉනිම 556 
(අබ්දුල්ලා ශෆීක් 102, ශාන් මසූඩ් 151, බාබර් අසාම් 30, සවුද් ශකීල් 82, නසීම් ෂා 33, අඝා ෂල්මාන් නොදැවී 104, ශහීන් ෂා අෆ්රීඩි 26, ගස් ඇට්කින්සන් 99/2, බ්‍රයිඩන් කර්ස් 74/2, ජැක් ලීච් 160/3)

එංගලන්තය - කඩුලු 7 ට 823 යි
(සැක් ක්‍රෝලි 78, ජෝ රූට් 262, බෙන් ඩකට් 84, හැරී බෲක් 317, ජැමී ස්මිත් 31, ක්‍රිස් වෝක්ස් නොදැවී 17, නසීම් ෂා 157/3, සයිම් අයුබ් 101/2)

පාකිස්තානය - දෙවැනි ඉනිම 220 යි
(සයිම් අයුබ් 25, ශාන් මසූඩ් 11, සවුද් ශකීල් 29, මොහොමඩ් රිස්වාන් 10, අඝා ෂල්මන් 63, ආමර් ජමාල් නොදැවී 55, ශහීන් ෂා අෆ්රීඩි 10, ගස් ඇට්කින්සන 46/2, බ්‍රයිඩන් කර්ස් 66/2, ජැක් ලීච් 30/4)


අදහස් (0)

පාකිස්තානය 500 ක් ගහලත් ඉනිමකින් පරාදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.