Last Update  :  2025-01-14 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය සුපිරි 4 අතරට
ආසියානු කුසලාන 2023

පාකිස්තානය සුපිරි 4 අතරට

editorial - 2023 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට...)

‘මූනිස්සම් වලින් තොර යුද්ධයක්’ යයි කොතෙකුත් කී නමුත් ඉන්දියාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේදී අද (සෙනසුරාදා) පැවැති ආසියානු කුසලාන තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි. ඒ සමගම ප්‍රසාද ලකුණු 3 ක් හිමිකරගත් පාකිස්තානු කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

පසුගිය බදාදා පාකිස්තානයේදීම නේපාලය ලකුණු 238 කින් පරාජය කළ පාකිස්තානුවෝ ප්‍රසාද ලකුණු 2 ක් අත්කර ගත්හ. අද තරගය විසඳුමකින් තොරවීම හේතුවෙන් ඔවුන්ට තවත් ප්‍රසාද ලකුණක් හිමිවෙයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 266 කට දැවී ගියේය. එහෙත්  රාත්‍රී 9.50 පමණ වනතුරු දිගින් දිගටම පැවැති ‘පොද වැස්ස’ නිසා පාකිස්තානු පිතිකිරුවන්ට පිටියට පිවිසිය නොහැකි විය. ක්‍රීඩාංගණ බලධාරීන්ගේ තොරතුරු මත තරගය එතැනින් අතහැර දැමීමට තීරක ජවගල් ශ්‍රීනාත් මහතා ඇතුළු විනිසුරුවරුන් තීන්දු කරන විටත් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලැබ තිබිණ.

එක්දින තරගයක තීරණයක් ලබාගැනීම සඳහා අවශ්‍ය අඩුම ඕවර සංඛ්‍යාව යැවීමට නම් අඩුතරමේ රාත්‍රී 10.27 ට වත් තරගය ආරම්භ කළ යුතුව තිබිණ. එහෙත් සියලුම ආවරණ ඉවත් කර ක්‍රීඩාංගණය සූදානම් කරගැනීම සඳහා අඩුම තරමේ පැයක පමණ කාලයක් ගතවන බැවින් තරග නිලධාරීහු කාලෝචිත තීරණයක් ගත්හ. එම තීරණයෙන් විනාඩි කිහිපයකට පසුව තවත් මඳ වර්ෂාවක් ක්‍රීඩාංගණයට පතිත විය.

කෙසේ වෙතත් අද සවස තරගය ආරම්භ වූ මොහොතේ පටන්ම පාකිස්තානු පන්දු යවන්නන්ගේ විස්මිත දස්කම් දක්නට ලැබිණ.

ක්‍රිකට් ලෝකයේ බලවත්ම පිතිකරු හමුදාව සිටින්නේ ඉන්දියාවට යයි තවදුරටත් තර්ක කළ හැකිවන පරිදි පාකිස්තානු ග්‍රහණයෙන් මිදුණු ඉන්දියානුවෝ ලකුණු 266 ක් ලබාගත්හ. ඕවර 15 ක් ඇතුළත ලකුණු 66 කට කඩුලු 4 ක් අහිමි කරගත් නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ ඉෂාන් කිෂන් (82) සහ හර්දික් පාණ්ඩ්‍යා (87) සටනක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඉන්දීය කණ්ඩායම කැඳවාගෙන ගියහ.

පාණ්ඩ්‍යා දැවී යාමට පෙර, ඉන්දීය ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 කට 239 ක් ලෙසිනි. ඉනිමේ අවසන් ඕවර 7 සමගින් ගනුදෙණු කිරීම සඳහා ඉන්දියානුවන් සතුව කඩුලු 5 ක් තිබිණ. එහෙත් නැවත වතාවක් පන්දුව අගට ගත් ශහීන් ෂා අෆ්රීඩි එකම ඕවරයකදී හර්දික් පාණ්ඩ්‍යා සහ රවීන්ද්‍ර ජදේජා පිටියෙන් ඉවත් කරමින් ලකුණු 300 කඩයිම දෙසට යාමට ඉන්දියානුවන්ට තිබූ දොරටුව අවහිර කර දැම්මේය.

පාකිස්තානු පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම නොවන්නට ඉන්දියානුවන්ගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 45 කින් පමණ අඩුවන්නට තිබිණ.

පාකිස්තානයට එරෙහිව සිය මුල්ම තරගයට ක්‍රීඩා කළ ඉෂාන් කිෂන්, ඉන්දීය පිලේ හිටපු කීර්තිමත් පිතිකරුවකු වන සුරේෂ් රයිනා සිහිපත් කළේය. කට්, ඩ්‍රයිව් සහ පුල් පහරවලින් ඉනිම සැරසූ ඉෂාන් කිෂන්, සිය පන්දු 81 ඉනිම හතරේ පහර 9 කින් සහ හයේ පහර 2 කින් අලංකාර කළේය. හර්දික් පාණ්ඩ්‍යා සුපුරුදු පිතිහරඹයට පිවිසියේ හතරේ සීමාව කරා විදුලි වේගයෙන් ඇදී යන පහර මුදාහරිමිනි. පන්දු 90 කට මුහුණ දුන් පාණ්ඩ්‍යාගේ ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවන් දෙදෙනා වන රෝහිත් ෂර්මාගේත් (11) විරාට් කෝලිගේත් (4) පිතිහරඹය ලකුණු 15 කට සීමා කළ ශහීන් ෂා අෆ්රීඩි හත්වනි ඕවරය නිමාවීමටත් පෙර ඉන්දියානුවන්ගේ මුහුණු ඇඹුල්කර දැමීය. ඉන්දීය ඉනිමේ ප්‍රහාරාත්මක ඕවර 10 නිමාවේදී ඉන්දියානුවන්ට ලබාගත හැකිවූයේ කඩුලු 3 ක් දැවී ලකුණු 48 ක් පමණි.
 
කඩුල්ලේ දෙපසින් පන්දු යවමින් සිටි අෆ්රීඩිගේත් නසීම් ෂාගේත් පන්දු යැවීම අදහාගත නොහැකි තරම් තර්ජනාත්මක විය. ‘මූනිස්සම් වලින් තොර යුද්ධයක්’ යන හැඳින්වීම කදිමට සනාථ කළ අෆ්රීඩි සිය පළමු ඕවර 5 ට නොයිඳුල් ඕවර දෙකක්ම ඇතුළත් කළේය.
අෆ්රීඩිගේ පන්දුවක් රෝහිත් ෂර්මාගේ පිත්තත් පා ආවරණයත් අතරින් රිංගා කඩුල්ලට කඩා වැදුණු අතර විරාට් කෝලි අහක යන පන්දුවක් පිත්තෙන් තම කඩුල්ල වෙත ඇදගත්තේය. අෆ්රීඩිගේ පළමු පන්දු යැවීමේ වාරය සටහන් වූයේ 5-2-15-2 ක් ලෙසිනි.

පාකිස්තානය හමුවේ පිට පිටම තරග දෙකක් ජයගෙන සිටින ඉන්දීය නායක රෝහිත් ෂර්මා, කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේ ජයග්‍රහණ ත්‍රිත්වයක් ලබාගැනීමේ අරමුණ ඇතිවය. කාසියේ වාසිය අහිමි වීමෙන් පසුව බාබර් අසාම් කීවේ “ලැබුණා නම් මමත් පන්දුවට පහර දීම තෝරාගන්නවා” කියායි.

පසුගිය වසර හයක කාලයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වී ඇත්තේ එක්දින තරග 4 ක් පමණක් වූවත්, 2018 ආසියානු කුසලාන තරගාවලියේදී පිට පිටම තරග දෙකක් ජයගැනීමට රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම සමත් විය. 2019 ලෝක කුසලාන තරගාවලියේදීත්, එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී පාකිස්තානය ලකුණු 89 කින් පරාජය කිරීමට විරාට් කෝලිගේ ඉන්දියානුවෝ සමත් වූහ.

පාකිස්තානයට එරෙහිව අවසන් වරට පැවැති තරග තුනම ජයගැනීමට ඉන්දියානුවෝ සමත් වී සිටිති.

හර්දික් පාණ්ඩ්‍යා...

 

ඉෂාන් කිෂාන්...

 

ශහීන් ෂා අෆ්රීඩි විසින් කඩුල්ලක් දවාගනිමින්...

 

හාරිස් රවුෆ් කඩුල්ලක් දවාගනිමින්...

 


අදහස් (0)

පාකිස්තානය සුපිරි 4 අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.