Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් හොරකම - වංචාව උගන්වති
19 න් පහළ අන්තර් පාසල් තරගාවලිය

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් හොරකම - වංචාව උගන්වති

editorial - 2025 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වත්තල - ස්ටැනිස්ලස්  පයස්)

කරන්දෙණිය ජෙනරාල් බලගල්ල ක්‍රීඩාංගනයේදී ඊයේ (03 වැනිදා) පැවැත්වීමට නියමිත  තිබූ වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝසියස්  විදුහල අතර වයස අවුරුදු 19 පහළ අර්ධ අවසන් පූර්ව තරඟය පැවැත්වීමට නොහැකිවන පරිදි  සිතාමතාම තෙමා දමා ඇතැයි වත්තල ශාන්ත අන්තෝනි විදුහල කියා සිටී. මෙම ක්‍රියාව හේතුවෙන්  තම විදුහලට අසාධාරණයක් සිදු වී ඇතැයි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාට ලිඛිතව දන්වා සිටීමටත් වත්තල ශාන්ත අන්තෝනි විදුහල්පතිවරයා පියවර ගෙන තිබේ. 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ලේකම්වරයාට පිටපතක් සහිතව යොමු කළ මෙම ලිපියට අනුව ක්‍රීඩා පිටිය තරඟය සඳහා සූදානම් කර තිබියදී,  ක්‍රීඩා කිරීමට නියමිත තණ තීරුව පමණක් සිතාමතා, සැලසුම් සහගතව, තෙත් කර තිබේ. තණතීරුවේ තෙතබරිත බව හේතුවෙන් තරඟය නොපැවැත්වූ නමුත් ඊට යාබදව ඇති අනෙකුත් කිසිදු තණ තීරුවක තෙත් බවක් දක්නට නොතිබුණු බවත්, ඊට අදාල  ඡායාරූප සහ වීඩියෝ සහිතව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ. 

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් තරගය සඳහා සුදුසු වෙනත් ක්‍රීඩාංගණයක් ලබාදීමට කටයුතු කළ නමුත් ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ පුහුණුකරු ඇතුළු කණ්ඩායම එම ක්‍රීඩාංගණයේදී තරග කිරීම ප්‍රතික්ෂේප කළ බවත් වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විදුහල්පති එෆ්. එස්. විජේසිංහ මහතා විසින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයට යැවූ ලිපියේ සඳහන් වේ. 

තණතීරුව තෙමී තිබීම හේතුවෙන් තරගයේ ආරම්භය පමා වූවත් ‍‍‍‍ක්‍රීඩා පිටිය සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා ‍ක්‍රීඩා  පිටියේ සේවක මණ්ඩලය ඉතාමත් උදාසීන හා මන්දගාමීව කටයුතු කර ඇති බවටද පැමිණිල්ලේ සටහන් වෙයි.  
මෙම තරගයේ විනිසුරුවරුන් ලෙස හසිත රත්නායක සහ නන්දන සිල්වා යන මහත්වරුන් කටයුතු කිරීමට සූදානමින් සිටි අතර තරග තීරකවරයා වශයෙන් ඩී. ඒ. කෙනත් මහතා පත්කරනු ලැබ තිබිණ. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පාසල් ක්‍රිකට් තරගාවලියේ පවතින නීතිරීති සංග්‍රහයේ එක වගන්තියක් අනිසි ලෙස භාවිතා කරමින් මෙවන් කූට වැඩ කෙරෙන බවයි. 

“විභාග ඉක්මනින් පැවැත්විය යුතු නිසා අපි අර්ධ අවසන් පූර්ව තරග වලට අතිරේක දිනයක් හෝ තරගය නැවත පැවැත්වීමට අවස්ථාවක් දෙන්නේ නෑ. එහෙම කළොත් අපට මේ තරගාවලිය නියමිත කාලය ඇතුළත අවසන් කරගන්න බැරිවෙනවා“

“ඒ හින්දා තරගාවලිටයේ නීති රීති සකස් කරලා තියෙන්නේ කිසියම් විදියකින් අර්ධ අවසන් පූර්ව තරගයක් පැවැත්විය නොහැකි වුණොත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් ඉන්න කණ්ඩායම ඊළඟ වටයට යන විදිහටයි... මෙන්න මේ වගේ වගන්ති වලින් තමා ඇතැම් අය අනිසි ප්‍රයෝජන ගන්නේ“

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් 19 න් පහළ දෙදින තරගාවලිය සහ සීමිත ඕවර තරගාවලිය ශ්‍රී ලංකාවේ පාසල් අතර පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියයි. ශ්‍රේණි 3 කින් යුතුව පැවැත්වෙන තරගාවලියට පාසල් කණ්ඩායම් 136 ක් සහභාගි වෙති. මෙම කණ්ඩායම් 136 ට ඇතුළත් නොවන, III වැනි ශ්‍රේණියේ දෙවැනි පෙළ තරගාවලියට (ඉතාමත්ම ආධුනික මට්ටමේ සිටින පාසල් කණ්ඩායම්) 279 ක් සහභාගි වෙති. 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව, මෙම සෑම පාසලක් සඳහාම අංග සම්පූර්ණ ක්‍රිකට් ආම්පන්න කට්ටලයක් සහ පන්දු 42 ක් බැගින්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයෙන් පිරිනැමෙයි. ඊට අමතරව ක්‍රීඩාංගණ ගාස්තු මෙන්ම විනිසුරුවන්ගේ ගාස්තු ගෙවීමත් කෙරෙන්නේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයෙනි. 

ශාන්ත අන්තෝනි විදුහල විසින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයට කරන ලද පැමිණිල්ල


අදහස් (0)

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් හොරකම - වංචාව උගන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.