Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket භානුක - අවිෂ්ක සීමිත ඕවර සංචිතයෙන් හැලෙති

භානුක - අවිෂ්ක සීමිත ඕවර සංචිතයෙන් හැලෙති

editorial - 2023 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා නම් කර ඇති සංචිතවලින් භානුක රාජපක්ෂ සහ අවිෂ්ක ප්‍රනාන්දු ඉවත්කර ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා ඇති බැවින් තවමත් එම සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.

එක්දින සංචිතයේ ඉඩක් හිමි නොවුණද පසුගිය කාල වකවානුව තුළ දිගින් දිගටම ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම නියෝජනය කළ භානුක, අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි-20 තරග 10 දී රැස්කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 137 ක් පමණි. එහි සාමාන්‍යය 15.22 ක් ලෙස සටහන් වේ. දිගින් දිගටම පිතිකරුවකු ලෙස ආසාර්ථක වීම හේතුවෙන් ඔහුට නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයේ ස්ථානයක් අහිමිවී ඇත.

දණහිසේ ආබාධ තත්ත්වයකින් සුවය ලබා වසරකට පමණ පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ අවිෂ්ක, ඉන්දියාවට එරෙහිව ඉකුත් ජනවාරි මාසයේදී පැවැති එක්දින තරගාවලියේදී මෙන්ම විස්සයි-20 තරගාවලියේදීද අසාර්ථක විය. ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ එක්දින තරග තුනේදී පිළිවෙලින් ලකුණු 5 කට, 20 කට සහ එක් ලකුණකට දැවී ගිය අවිෂ්කට, ඔහු සහභාගි වූ විස්සයි-20 තරගයේදී ලබාගත හැකි වූයේද එක් ලකුණක් පමණි.

භානුකට සහ අවිෂ්කට එසේ ශ්‍රී ලංකා සීමිත ඕවර සංචිතයන්හි ස්ථාන අහිමි වෙද්දී, ප්‍රවීන ක්‍රීඩකයන් දෙපළක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා යළිත් සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත. එහිදී මැතිව්ස් එක්දින සංචිතයටද, කුසල් විස්සයි-20 සංචිතයටද ඇතුළත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ. මැතිව්ස් අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ මාර්තු මාසයේදී වන අතර කුසල් අවසන් වරට විස්සයි-20 තරගයකට ක්‍රීඩා කර ඇත්තේ එම වසරේම නොවැම්බර් මාසයේදීය.

ඔවුන් දෙදෙනාට අමතරව තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා නොමැති තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේට (එක්දින) සහ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේට (විස්සයි-20) ශ්‍රී ලංකා සීමිත ඕවර සංචිතවල දොරටු විවර කර දීමටද තේරීම් කමිටුව කටයුතු කර තිබේ. වේග පන්දු යවන ක්‍රීඩකයන් දෙදෙනකු වන ප්‍රමෝද් මධුෂාන් එක්දින සංචිතය සඳහා පමණක්ද, මතීෂ පතිරණ විස්සයි-20 සංචිතය සඳහා පමණක්ද නම් කර ඇති තේරීම් කමිටුව, සෙසු සියලු ක්‍රීඩකයන් එක්දින සහ විස්සයි-20 සංචිත දෙක සඳහාම ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.


ශ්‍රී ලංකා එක්දින සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ, නුවනිඳු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, දිල්ෂාන් මධුෂංක, චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර

ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ළහිරු කුමාර, දිල්ෂාන් මධුෂංක, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලසිත් කෲස්පුල්ලේ සහ මතීෂ පතිරණ


අදහස් (1)

භානුක - අවිෂ්ක සීමිත ඕවර සංචිතයෙන් හැලෙති
  • sam Tuesday, 28 February 2023 11:31 AM

    අවිෂ්ක හලපු එක හොඳයි.. නිකන් බාන කඩාගත්තු හරකා වගේ පළවෙනි බෝලෙ ඉඳලම ගහන්න ගිහිල්ලා උදේ පාන්දරම අවුට් වෙනවා. භානුක නම් ටීම් එකට කිසිම සුදුසුකමක් නෑ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.