Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මධුශංකට සූදානමින් ඉන්න කියයි
එස්.එස්.සී. ටෙස්ට් තරගය

මධුශංකට සූදානමින් ඉන්න කියයි

editorial - 2023 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

“සූදනම් වෙලා ඉන්න” යයි වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංකට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්වය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී හෙට (24 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී ඩිල්ෂාන් මධුශංක සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාම ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීම සම්බන්ධයෙන් තේරීම් කමිටු නිලධාරීහු සාකච්ඡා කරමින් සිටිති. ශ්‍රී ලංකාවේදී අවසන් වරට පැවැති ටෙස්ට් තරග කිහිපයේදීම ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නන් වෙතින් බලාපොරොත්තු වූ ආක්‍රමණශීලිත්වය දක්නට නොලැබීම නිසා හෙට තරගයේදී නවක වේග පන්දු යවන්නකු වන ඩිල්ෂාන් මධුශංකට අවස්ථාව ලැබීමේ වැඩි සම්භාවිතාවක් පවතී.  

ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව මේ වන විටත් 0-1 ක් ලෙසින් පසුපසට වැටී සිටින බැවින්, තරගාවලියේ අපරාජිතව සිටීමට නම් හෙට ඇරඹෙන තරගය ජයගත යුතුව තිබේ. මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2023 - 2025 චක්‍රයේදී ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්තානයද සහභාගි වන පළමු වැනි තරගාවලියයි.

අනෙක් අතට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර හතර හමාරකට පසුවය. එහි පැවැති අවසන් ටෙස්ට් තරගය වන 2018 නොවැම්බර් මාසයේදී පැවැති තරගයේදී එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව පරාජය විය. ඒ වනවිට එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාය.

වසර හතරක හමාරක කාලයක් පුරා හිරු එළියටත්, වර්ෂාවටත් මෙන්ම ඇතැම් දේශීය තරග වලටත් නිරාවරණය වූ එස්.එස්.සී. තණතීරුව සෑහෙන වෙනස්කමකට මුහුණ දී ඇති නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම පුහුණුකරුවාත් වේග පන්දු යවන්නන් කෙරේ විශ්වාසය රඳවා තිබේ.

විශ්ව ප්‍රනාන්දුගේ අවසන් ටෙස්ට් තරග 5 දී පන්දු යැවීම සටහන් වන්නේ ඕවර 84-12-331-8 ක් වශයෙනි. තරග 5 ක ඉනිම 9 කින් කඩුලු 8 කි. යවා ඇති නොයිඳුල් ඕවර සංඛ්‍යාව 12 ක් වීමත් විශ්වට අවාසි සහගත සාධකයකි. මෙම තරග 5 දී කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 41.375 කි.

කසුන් රාජිතගේ අවසන් ටෙස්ට් තරග 5 පන්දු යැවීම සටහන් වන්නේ ඕවර 149-31-513-9 ක් ලෙසිනි. ඔහුගේ පන්දු යැවීමේ වාර්තාවද භයංකාරය. ටෙස්ට් ඉනිම 8 කින් කඩුලු 9 කි. නොයිඳුල් ඕවර ප්‍රතිශතය 20.81 කි. කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 57.00 කි.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග වලින් වැඩි ප්‍රමාණයක් ගාල්ලේදී පැවැති නමුත් දෙදෙනාම ක්‍රීඩා කළේ කඩුලු දවාගැනීමේ වගකීම කරපින්නා ගනිමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක එකේ පන්දු යවන්නන් ලෙසිනි. අනෙක් අතට යවා තිබෙන නොයිඳුල් ඕවර සංඛ්‍යාව මෙන්ම කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යයද, පිතිකරුවන් පීඩනයට ලක් කිරීම සඳහා කිසි සේත්ම ප්‍රමාණවත් නොවේ.

මෙවන් තත්ත්වයකදී, වෙනෙකකු තෝරාගැනීම හැර විකල්පයක් තේරීම් කමිටු නිලධාරීන්ට නැත. තවමත් 22 හැවිරිදි ඩිල්ෂාන් මධුශංක පසුගිය වසරේදී ඩුබායිහිදී පැවැති ආසියානු කුසලාන (විස්සයි-20)  තරගාවලියේදී මෙන්ම සති දෙකකට පෙර සිම්බාබ්වේහිදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තේරීමේ (එක්දින) තරගාවලියේදීත් විශිෂ්ට දස්කම් පෙන්වූයේය. හෙට ඩිල්ෂාන් මධුශංක රතු පන්දුවෙන් පරීක්‍ෂා කිරීමේ අවස්ථාවයි.

මධුශංක තවමත් ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 9 ක් පමණි. ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග වලින් ක්‍රීඩකයකු මැනගත නොහැකි නමුත්, පල්ලෙකැළේදී දකුණු අප්‍රිකානු ඒ පිල හමුවේ ඩිල්ෂාන් කළ පන්දු යැවීම ඔහුගේ තරම පෙන්වීමකි.

අසනීපවීම නිසා සිය ස්ථානය අහිමි වූ අසිත ප්‍රනාන්දුට හෙට තරගයේදී නැවතත් ස්ථානය ලැබීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිපත්තිමය තීන්දුවකි. අසිත ප්‍රනාන්දු, පසුගිය මාස කිහිපය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් අතරේ අංක එකේ තේරීම විය.

ගෙවී ගිය වසර කිහිපයේදීම, ගාල්ල ක්‍රීඩාංගණයේදී දස්කම් පෙන්වූ රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය දෙදෙනා එස්.එස්.සී. පිටියේදී තියුණු පරීක්‍ෂාවකට ලක්කෙරෙනු නියතය.
මෙන්ඩිස්ගේ කඩුලු 63 න් 56 ක් ගාල්ලේදී දවාගත් ඒවාය. ප්‍රභාත් ජයසූරියගේ ටෙස්ට් කඩුලු 57 න් කඩුලු 53 ක් ගාල්ලේදී දවාගත් ඒවාය. එබැවින් බාබර් අසාම් සහ ශාන් මසූඩ් වැනි පළපුරුදු පිතිකරුවන් දෙදෙනකුට ස්වීප් පහරෙන් මනා ප්‍රයෝජන ගන්නා සවුද් ශකීල් වැනි පිතිකරුවකු එක්වූ කල්හි, ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් දෙදෙනාගේ තරම එස්.එස්.සී. පිටියේදී මැනගත හැකිවනු ඇත.

ගාල්ලේදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා සහ පාකිස්තානු කණ්ඩායම් අතර වාසිය වෙනස් කළේ පාකිස්තානුවන්ගේ පන්දු රැකීමයි. එබවින් ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා කී ආකාරයෙන් පන්දු රැකීම සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබේ.


ශ්‍රී ලංකා සංචිතය :
දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, ඩිල්ෂාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, සහ ලක්‍ෂිත මනසිංහ

පාකිස්තානු සංචිතය :
බාබර් අසාම් (නායක), අබ්දුල්ලා ශෆීක්, ඉමාම් උල් හක්, ශාන් මසූඩ්, සර්ෆ්‍රාස් අහමඩ්, සවුද් ශකීල්, අඝා සල්මාන්, මොහොමඩ් නවාස්, නසීම් ශා, අබ්රාර් අහමඩ්, ශහීන් ෂා අෆ්රීඩි, මොහොමඩ් රිස්වාන්, අමීර් ජමාල්, හසන් අලී, මොහොමඩ් හුරයිරා සහ නවුමන් අලී.

 


අදහස් (0)

මධුශංකට සූදානමින් ඉන්න කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.