Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැලේ ක්‍රිකට් සමාජය 150 වැනි සංවත්සරය සමරයි

මැලේ ක්‍රිකට් සමාජය 150 වැනි සංවත්සරය සමරයි

editorial - 2022 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රිකට් සමාජයක් ලෙසින් සළකන 1872 දී ආරම්භ කළ කොළඹ ‘මැලේ’ ක්‍රිකට් ක්‍රීඩා සමාජය මෙම වසරට (2022) යෙදෙන සිය 150 වැනි සංවත්සරය නිමිත්තෙන් වසර පුරා ක්‍රියාත්මක කෙරෙන සංවත්සර තරග මාලා හා සැමරැම් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ.

මෙම වැඩසටහන් මාලාව අතර ප්‍රධාන තැනක් ගන්නේ සැමරැම් දිනය ලෙස සලකනු ලබන මාර්තු 26 වැනිදා හිටපු සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්වෙන සුහද හමුවයි.

සංගක්කාර මහතා කොළඹ මැලේ ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයෙකි. හෙතෙම පසුකාලීනව මැලේ ක්‍රිකට් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් හොකී හා රග්බි ක්‍රීඩා ඉසව්වලටද පිවිසෙමින් අන්තර් සමාජ තරගාවලි සඳහා සහභාගි වී තිබේ.

1892 දී සිය පළමු ක්‍රීඩා සමාජ තරගයට සහභාගි වී ඇති මැලේ ක්‍රිකට් සමාජය එහිදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට සමත්ව තිබේ. එදා මෙදාතුර අන්තර් සමාජ ක්‍රිකට් ශූරතා හා අනුශූරතා රුසක් දිනා සිටින මැලේ ක්‍රිකට් සමාජයේ මෑත කාලයේ හොඳම දස්කම වන්නේ 2016 දී පැවැති  පී. සරවනමුත්තු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණෙමින් දස්කම් දැක්වීමයි.

හොකී ක්‍රීඩාවට 1970 දී පිවිසි ඔවුන් වසර 2017 දී සභාපති කුසලාන (පිරිමි) තරගාවලිය ජය ගෙන තිබේ. ඒ අතර එම වසරේදීම අන්තර් සමාජ හොකී (කාන්තා) ලීග් ශූරතාවද දිනා ඇත.

රග්බි පිටියේද කැපී පෙනෙන දස්කම් මෑත කාලයේදී පළ කර තිබෙන මැලේ ක්‍රීඩා සමාජය වසර 2019 දී  නැගී එන කණ්ඩායම් සත් සාමාජික තරගාවලිය, ‘ඩයලොග්’ අන්තර් සමාජ රග්බි ‘පළඟ’ අනුශූරතාව ලබන අතර අන්තර් සමාජ ලීග් ‘සී’ කාණ්ඩයේ ශූරතාව අපරාජිතව හිමිකර ගෙන තිබේ.

වත්මන් සභාපති රිස්වාන් බදුර්ඩීන් මහතා මැලේ ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ සිය 150 වැනි සංවත්සරය නිමිත්තෙන් ක්‍රිකට් සය සමාජික, හොකී, දැල්පන්දු හා බැඩ්මින්ටන් තරග මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි.

මැලේ ක්‍රීඩා සමාජයේ 150 වැනි වාර්ෂික මහ සභාව මාර්තු 27 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඊට සමගාමීව ශ්‍රී ලංකා මැලේ සංගමයේ 100 වැනි වාර්ෂික මහ සභා රුස්වීමද මැලේ ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

150 වැනි සංවත්සරය නිමිත්තෙන් මැයි 27 සිට ජූනි 5 දක්වා වන කාල සීමාව තුළදී ආරාධිත සය සාමාජික ක්‍රිකට් තරගාවලිය හා ආරාධිත බැඩ්මින්ටන් තරගාවලිය පැවැත්වේ. කෙසේ වුවත් බැඩ්මින්ටන් තරගාවලිය සුගතදාස ගෘහස්ත පිටියේදී පැවත්වෙන අතර ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනය මෙතෙක් ප්‍රකාශවී නැත.

ජුලි 30-31 දෙදින මැලේ පිටියේදී දැල්පන්දු තරගාවලිය පැවැත්වේ.

සුගතදාස ගෘහස්ත පිටියේදී ආරාධිත ‘සෙෆක්ටක්රෝ’ (කික් වොලිබෝල්) තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 27 වැනිදාය. ආරාධිත හොකී තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේදී  පැවැත්වීමට තරග සංවිධායකයන් සැලසුම් කර තිබේ.


අදහස් (0)

මැලේ ක්‍රිකට් සමාජය 150 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.