Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රන්දිකගේ පිතිහරඹය නොදර්න් වොරියර්ස්ට ජය ගෙනේ

රන්දිකගේ පිතිහරඹය නොදර්න් වොරියර්ස්ට ජය ගෙනේ

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අෂාන් රන්දිකගේ (76) වේගවත් පිතිහරඹයත්, පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් යුද හමුදාපති ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (3 වැනිදා) පැවැති තරගයකදී වෙස්ටන් වොරියර්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට සීකුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් නොදර්න් වොරියර්ස් පිල සමත්විය.

කාසියේ වාසිය දිනාගත් නොදර්න් වොරියර්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා වෙස්ටන් වොරියර්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 19.5 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි.

ආරම්භක පිතිකරු කවීෂ් කුමාර පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් ලබාගත් අතර මැද පෙළ පිතිකරු යශෝධ මෙන්ඩිස් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් රැස්කිරීමට සමත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක සීකුගේ ප්‍රසන්න සිය ඕවර 4 ලකුණු 23 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් අතර හේෂාන් හෙට්ටිආරච්චි ඕවර 3.5 කදී ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය නොදර්න් වොරියර්ස් පිල ඕවර 15.4 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

හයේ පහර සහ හතරේ පහර 6 බැගින් එල්ල කරමින් වේගවත් පිතිහරඹයක නිරත වූ අෂාන් රන්දික පන්දු 31 කදී ලකුණු 76 ක් ලබාගනිමින් නොදර්න් වොරියර්ස් පිලේ ජයග්‍රහණයට අඩිතාලම දැමීය. නායක සීකුගේ ප්‍රසන්න පන්දු 25 කදි හතරේ පහර 5 ක් සමගින් ලකුණු 28 ක් ලබාගත්තේය.


වෙස්ටන් වොරියර්ස් - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී 131
(කවීෂ් කුමාර 32, යශෝධ මෙන්ඩිස් 31, සීකුගේ ප්‍රසන්න 23/3, හේෂාන් හෙට්ටිආරච්චි 26/2)

නොදර්න් වොරියර්ස් - ඕවර 15.4 කදී කඩුලු 5 ක් දැවී 134
(අෂාන් රන්දික 76, සීකුගේ ප්‍රසන්න 28, ගිහාන් කෝරලගේ 26/2)

 


අදහස් (0)

රන්දිකගේ පිතිහරඹය නොදර්න් වොරියර්ස්ට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.