Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලයන්ස්ලා කඩුලු 4 කින් ජයගනිති
නොනිල එක්දින තරගාවලිය

ලයන්ස්ලා කඩුලු 4 කින් ජයගනිති

editorial - 2023 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

චාමික කරුණාරත්න අංක 7 පිතිකරුවාගේ පරීක්‍ෂණය සමත් වූවත්, ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අනෙකුත් ඉදිරිපෙළ පිතිකරුවන්ගේ අසාර්ථක භාවයෙන් වාසිය මිට මොළවාගත් එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු නිල නොවන එක්දින තරගයේදී කඩුලු 4 ක පහසු ජයක් අත්කර ගත්හ. ලකුණු 231 ක ඉලක්කයක් කරා ගිය ලයන්ස් කණ්ඩායම ඕවර 9.4 ක් ඉතිරිව තිබියදී අපේක්‍ෂිත ඉලක්කය කරා අවතීර්ණ විය.

ආරම්භක පිතිකරුවන් වූ ජේකබ් බෙතිල් (50) සහ ජැක් හයින්ස් (25) ගොඩනැංවූ අඩිතාලම මත සිට ලයන්ස් පිතිකරුවෝ පීඩනයකින් තොරව ලකුණු කරා ගියහ. අනවශ්‍ය හදිසියක් නොපෙවූ ඔව්හු වඩාත් ඉහළ වෘත්තීයය මට්ටමක් ප්‍රදර්ශනය කරමින් 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්හ.

කාසියේ වාසිය වෙස්වළාගෙන ආ රකුසෙකු වුවද, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම (74) සහ සහන් ආරච්චිගේ (57) එක්ව ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයන්ගේ හිස් එසවූහ. අංක 7 පිතිකරුවා ලෙසින් තමන් හමුවේ තිබූ පරීක්‍ෂණය ඉහළින්ම සමත් වූ චාමික කරුණාරත්න ලබාගත් අර්ධ ශතකය නිසා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 230 ක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත් පන්දුවේ තිබූ දෝලනය හේතුවෙන්, ඕවර 4 කදී ලකුණු 09 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටිණ. අලංකාර ස්ටේ්‍රට් ඩ්‍රයිව් පහරකින් පන්දුව හතරේ සීමාවට යැවූ ඇන්ජලෝ මැතිව්ස් ද ලකුණු 13 කට දැවී ගිය පසුව ලකුණු පුවරුව කඩුලු 4 කට 25 ක් ලෙසින් දිස්විය.

මෙම අවස්ථාවේදී එක්වූ නායක සධීර සමරවික්‍රම සහ සහන් ආරච්චිගේ දෙදෙනා සිය හිස් බිමට නමා ගනිමින්, අවදානම් පහර කරා නොයා, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක් එක් කළහ. ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාවට ඕවර 23.1 ක් ගතවූවද, ඒ අතරවාරයේදී පිතිකරුවෝ දෙදෙනාම ඕවරයකදී ලකුණු 5.00 කට වැඩි වේගයක් රඳවාගත්තේ තම තමන්ගේ කඩුලු ද ආරක්‍ෂා කරගනිමිනි.

පන්දු 68 කින් සිය අර්ධ ශතකය ලබාගත් සහන් ආරච්චිගේගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 කි. එහෙත් සිය අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව ඉතිරිව තිබූ ඕවර සංඛ්‍යාව දෙස බැලූ වමත් පිතිකරුවා ලකුණු වේගය වැඩි කිරීමට ගත් උත්සාහයේදී හතරේ සීමාව අසළ සිට රැකගත් උඩපන්දුවකට ගොදුරු විය.

පරිනත පිතිකරුවකුගේ විලාසයෙන් පන්දුවට පහර දුන් සධීර, අංක 7 පිතිකරුවා සමගින් දිගු ගමනකට සූදානම් විය. එහෙත් මිඩ් විකට් කලාපයට ඉහළින් හතරේ සීමාව කරා යාමට උත්සාහ කළ සධීරගේ උඩපන්දුව, ජෝර්ඩ්න් කොක්ස් ගුවනට පනිමින් ඩැහැගත්තේය.

ඉනිමේ 32 වැනි ඕවරයේදී චාමික කරුණාරත්න පිටියට පිවිසෙන විට අංක 7 පිතිකරුවකු වශයෙන් පිළිතුරු සැපයිය යුතු සියලුම ප්‍රශ්න ඔහු හමුවේ තිබිණ. ඒ සෑම ප්‍රශ්නයක්ම, එකින් එක තෝරා බේරා ගනිමින් සාර්ථකව පිළිතුරු දෙමින් සිටියද, ලකුණු 209 දී 9 වැනි කඩුල්ලත් වැටෙන විට කරුණාරත්න ලබා සිටියේ ලකුණු 23 කි. එතැන් සිටි අවසන් පිතිකරුවා වූ ප්‍රවීන් ජයවික්‍රම පන්දු යවන්නන්ගෙන් වහංගු කරගනිමින්, තවත් ලකුණු 29 ක් ලබාගත් චාමික, පන්දු 45 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය.  හතරේ සීමාව ආසන්නයේ සිට රැකගන්නා ලද උඩපන්දුවකින් චාමිකගේ ඉනිම නිමා වන විට හතරේ පහර 5 ක් සහ අලංකාර හයේ පහර 2 ක් ඔහුගේ පිත්තෙන් නික්මී තිබිණ.

තරගාවලියේ දෙවැනි නිල නොවන එක්දින තරගය ලබන 18 වැනිදා (සෙනසුරාදා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.

(ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි)


අදහස් (0)

ලයන්ස්ලා කඩුලු 4 කින් ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.