Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශතකය පෙනි පෙනී කමිල් මිෂාර දැවී යයි

ශතකය පෙනි පෙනී කමිල් මිෂාර දැවී යයි

editorial - 2021 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය (සිව්දින) ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වූ අද (31 වැනිදා) තරගය අවසන් කරන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 144 ක් රැස්කර තිබුණි.

තරගයේ අවසන් පැයේ අවසන් ඕවර 15 යවමින් සිටියදී ශතකය පෙනි පෙනී කමිල් මිෂාර ලකුණු 98 කට දැවී යාමත් සමගින් තරගය අවසන් කිරීමට දෙපිළේම නායකයෝ එකඟවූහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 97 කදි හතරේ පහර 19 ක් සමගින් ලකුණු 98 ක් ලබාගත්තේය. අනෙක් ආරම්භක පිතිරුවා වූ ළහිරු උදාරට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 28 ක් පමණි. ලකුණු 18 ක් රැස්කළ ඕෂධ ප්‍රනාන්දු තරගය අවසන් කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

තෙවැනි දිනට ඊයේ (30 වැනිදා) තරගය අවසන් කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 187 ක් රැස්කර සිටි පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම අද දිනයේදී කඩුලු 2 ක් දැවි ලකුණු 324 ක් රැස්කරමින් පළමු ඉනිම අත්හිටුවීය.

ආරම්භක පිතිකරුවා වූ නායක සවුද් ශකීල් ශතකයක් ද, ඔමායිර් යූසුෆ් සහ කම්රන් ගුලාම් අර්ධ ශතක රැස්කරමින් ද පාකිස්තානු ‘ඒ’ පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

සවුද් ශකීල් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වන විට ලකුණු 118 ක් රැස්කර සිටි අතර පන්දු 223 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් විය. ඔමායිර් යූසුෆ් පන්දු 250 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 93 ක් සහ කම්රන් ගුලාම් පන්දු 118 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 58 ක් රැස්කිරීමට සමත්විය.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 206 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සවුද් ශකීල් සහ ඔමායිර් යූසුෆ් සමත්වූ අතර තෙවැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 79 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට කම්රන් ගුලාම් සහ උස්මාන් සලහුදින් යුගලය සමත්වූහ.

ශ්‍රී ලංකා නායක සදීර සමරවික්‍රම පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තද සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට ඔවුන් වැඩි දෙනෙකු අපොහොසත් වූහ. අසිත ප්‍රනාන්දු සහ ලසිත් ඇල්දෙණිය එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

දෙවැනි සහ අවසන් නිල නොවන ටෙස්ට් තරගය (සිව්දින) ලබන මස 4 වැනිදා මෙම ක්‍රීඩාංගණයේදීම ආරම්භවේ.

 


අදහස් (0)

ශතකය පෙනි පෙනී කමිල් මිෂාර දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.