Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා - ඉන්දීය ක්‍රීඩිකාවෝ රන් පදක්කමට සටනේ
ආසියානු ක්‍රීඩා - 2022

ශ්‍රී ලංකා - ඉන්දීය ක්‍රීඩිකාවෝ රන් පදක්කමට සටනේ

editorial - 2023 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඊයේ (24 වැනිදා) සමත් විය. අවසන් මහ තරගයේදී ජය ලබන කණ්ඩායමට එම ඉසව්වේ රන් පදක්කම හිමිවන අතර පරාජයට පත්වන කණ්ඩායමට රිදී පදක්කමින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත.

ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර රන් සහ රිදී පදක්කම් සඳහා පැවැත්වෙන අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (25 වැනිදා) පෙරවරු 11.30 ට ආරම්භ වීමට නියමිතය. බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ලෝකඩ පදක්කම සඳහා පැවැත්වෙන තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 6.30 ටය.

පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 76 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, ඕවර 16.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී හර්ෂිතා සමරවික්‍රම පන්දු 41 කින් ලකුණු 23 ක් රැස්කළ අතර නිලක්ෂි ද සිල්වා පන්දු 23 කින් නොදැවී ලකුණු 18 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 75 ක් පමණි. එහිදී උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 21 කට කඩුලු 3 ක්ද, කවීෂා දිල්හාරි ලකුණු 15 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. අචිනි කුලසූරිය සිය ඕවර 4 ලකුණු 7 කටද, ඉනෝකා රණවීර සිය ඕවර 4 ලකුණු 11 කටද සීමා කරමින් කඩුල්ල බැගින් දවාගත්හ.


පාකිස්තාන කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 75
(ශවාල් සුල්ෆිකර් 16, උදේෂිකා ප්‍රබෝධනී 21/3, කවීෂා දිල්හාරි 15/2)

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 16.3 කදී කඩුලු 4 කට 77
(චමරි අතපත්තු 14, අනුෂ්කා සංජීවනී 15, හර්ෂිතා මාධවී 23, නිලක්ෂි ද සිල්වා නොදැවී 18)

 


අදහස් (0)

ශ්‍රී ලංකා - ඉන්දීය ක්‍රීඩිකාවෝ රන් පදක්කමට සටනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.