Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරයි

editorial - 2024 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

වසර ගණනාවක් තිස්සේ මහත් කතාබහට මෙන්ම වාද විවාද වලටත් තුඩුදෙමින් තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කර තිබේ. ඒ සම්බන්ධයෙන් අද (20 වැනිදා) පැවති අති විශේෂ මහ සභා රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් 87 දෙනාගෙන් 80 කට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත විය. 

ව්‍යවස්ථාව වෙනස් කිරීමේදී කැපී පෙනන කාරණාව වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී භාවිතා කෙරෙන ඡන්ද සංඛ්‍යාව 60 දක්වා පහත හෙළීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී මෙතෙක් භාවිතා වූ ඡන්ද සංඛ්‍යාව 147 කි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කලින් පැවැති ව්‍යවස්ථාව අනුවම, නිලවරණයේදී අත් එසවීමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ (විවෘත ඡන්දය) ක්‍රමය තවදුරටත් එලෙසින්ම පවතී. 

පැරණි ව්‍යවස්ථාව අනුව, එහි සාමාජිකයන්ගේ තත්ත්වයට අදාළ වන පරිදි, පාලක ක්‍රීඩා සමාජ සහ අනුබද්ධ සංගම් වලට ඡන්ද 2 ක් බැගින් හිමිවී තිබිණ. අනුබද්ධ ක්‍රීඩා සමාජයකට එක ඡන්දයක් හිමිවී තිබිණ. එහෙත් නව ව්‍යවස්ථාව අනුව සෑම ක්‍රීඩා සමාජයකටම නැතහොත් සංගමයකට හිමිවන්නේ එක ඡන්දයකි. එසේ වුවත්, අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට ක්‍රීඩා කරන කැන්ඩි කස්ටම්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩා සමාජ වලට ඡන්ද බලය හිමි නොවේ. 

අනෙක් අතට ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය හිමිවන්නේ ඔවුන් අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ තලයේ (ටියර් - ඒ’), ‘බී’ තලයේ (ටියර් - බී) සහ ආණ්ඩුකාර කුසලාන (කලින් සරවනමුත්තු කුසලාන) තරගාවලියේ ක්‍රීඩා කරන්නේ නම් පමණි. එසේ නොවන අවස්ථාවන්හිදී ක්‍රීඩා සමාජ වල සාමාජිකත්වය එලෙසින්ම පවතින නමුත් ඔවුනට ඡන්ද බලය හිමි නොවේ. එම ක්‍රීඩා සමාජ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදී ක්‍රීඩා කරමින් ඉහළ තලයට සුදුසුකම් ලබාගත් පසුව ඔවුන්ට ඡන්ද බලය හිමිවේ. 

පළාත් ක්‍රිකට් සංගම් අතුරින් උතුරු මැද, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත් ක්‍රිකට් සංගම් වලටත්, දිස්ත්‍රික් සංගම් 22 කටත් ඡන්ද බලය හිමිවේ. අනුබද්ධ සංගම් අතුරින් ජනසතු සේවා, රාජ්‍ය සේවා, ශ්‍රී ලංකා පාසල්, විශ්ව විද්‍යාල සහ ආරක්‍ෂක සේවා ක්‍රිකට් සංගම් වලටත් ඡන්දයක් බැගින් හිමිවේ. ආරක්‍ෂක සේවා සංගමයට ඡන්දයක් හිමිවන බැවින් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියට ඡන්ද බලය හිමි නොවේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර අදාළ ක්‍රීඩා සමාජයේ හෝ පළාත් නැතහොත් දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිලවරණය පැවැත්විය යුතුව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට පැමිණෙන, අදාළ ක්‍රීඩා සමාජයේ නැතහොත් සංගමයේ සාමාජිකයාට, ඔහු නියෝජනය කරන ක්‍රීඩා සමාජයේ හෝ සංගමයේ මතය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇත. 

වසර ගණනාවකට පෙර පැවැති නිලවරණයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ පාර්ශ්ව දෙකකටම එක ක්‍රීඩා සමාජයකින් ඡන්දය බැගින් හිමුවූ අවස්ථාවක් ද තිබිණ. 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමණාකරණය වඩාත් විධිමත් ලෙසින් පවත්වාගෙන යාම සඳහා විගණන කමිටුවක්, ආයෝජන මෙන්ම අයවැය පාලන කමිටුවක් සහ මූල්‍ය ගනුදෙනු කමිටුවක් පත්කිරීමට ද සාමාජිකයෝ ඒකමතිකව අනුමැතිය දුන්හ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 නිලවරණය සඳහා වන නිලවරණ කමිටුවේ සභාපතිනිය වශයෙන් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය කටයුතු කරනු ඇත. නිලවරණ කමිටුවේ සාමාජිකයෝ පස් දෙනෙකි. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.