Last Update  :  2025-01-14 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සටනක් දී පරදිති
2 වැනි එක්දින තරගය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සටනක් දී පරදිති

editorial - 2024 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව බෙල්ෆාස්ට් නුවරදී අද (18 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 15 ක තියුණු ජයක් වාර්තා කළ අයර්ලන්ත කාන්තා කණ්ඩායම, තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 256 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 48 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 240 ක් පමණි. එහිදී සිය මංගල එක්දින ශතකය ලබාගැනීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වූයේ පන්දු 124 කදී හතරේ පහර 11 ක් සමග ලකුණු 105 ක් රැස්කරමිනි. මෙම ශතකයත් සමග ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් ලබාගත් තෙවැනි ක්‍රීඩිකාව බවටද ඇය පත්වූවාය. 

ලකුණු 46 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී කවීෂා දිල්හාරි (53) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන්පන්දු 151 කදී ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හර්ෂිතා සමත් වූවාය. පන්දු 71 කදී වාර්තා වූ කවීෂාගේ මංගල එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය. කෙසේ වුවත් හර්ෂිතා දුවද්දී දැවී යෑමකට හසුවීමත් සමග තත්වය කණපිට හැරිණ.

හර්ෂිතාගේ දැවී යෑමෙන් අනතුරුව ලකුණු 30 ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ම බිඳවැටිණ. අවසන් ඕවර කිහිපයේදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 21 කින් නොදැවී ලකුණු 24 ක් රැස්කිරීමට නිලක්ෂි ද සිල්වා සමත් වූ නමුත්, සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඇයට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූවාය. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 50 කදී කඩුලු 5 කට ලකුණු 255 ක් ලබාගත්හ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක සම්බන්ධතාවක් පැවැත්වූ ලියා පෝල් (81) සහ රෙබෙකා ස්ටෝක්ල් (නොදැවී 53) එක්ව අයර්ලන්ත කණ්ඩායම ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. 

ශ්‍රී ලාංකික පන්දු යවන්නියෝ ආරම්භයේ සිටම මනා පාලනයකින් යුතුව පන්දු යැවූහ. 31 වැනි ඕවරයේදී සිව්වැනි කඩුල්ල (ඇමී හන්ටර්) දැවී යන විටත් අයර්ලන්තය සතු වූයේ ලකුණු 134 කි. එහෙත් එතැන් සිට තරගයේ පාලනය අතට ගත් ලියා සහ රෙබෙකා එක්ව පන්දු 112 කින් ලකුණු 114 ක් එක්කළේ වෙහෙසට පත්ව සිට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිතන්නට වත් කාලයක් ඉතිරි නොකරමිනි. 

පන්දු 101 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් ද සමග ලකුණු 81 ක් ලබාගත් ලියා පෝල් මෙම සම්බන්ධතාවේදී පෙරමුණ ගත් පිතිකාරිණිය වූවාය. ඇයට හොඳ සහයෝගයක් දුන් රෙබෙකාගේ ඉනිමට ඇතුළත් වූයේ හයේ පහරක් සහ හතරෙ පහර 2 ක් පමණක් වූවත්, ප්‍රහාරාත්මක වේගයේදී රෙබෙකා ඉදිරියෙන් සිටියාය. නිතරම තමන්ට ලැබෙන අවස්ථාවෙන් තනි ලකුණක් හෝ දෙකක් රැගෙන, පන්දුවට පහර දීමේ අවස්ථාව ලියා වෙත පැවරීම රෙබෙකාගේ රාජකාරිය විය. 

ශ්‍රී ලංකා කාන්තාවන් වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ උදේශිකා ප්‍රබෝධනී සහ අචිනි කුලසූරිය දෙදෙනා එක දිගට ඕවර 12 ක්ම යැවූහ. එම ඕවර 12 න් අයර්ලන්ත පිතිකාරිණියන්ට ලබාගත හැකිවූයේ ලකුණු 44 කි. අචිනි තම ඕවර 10 න් ඕවර ඕවර 8 ක් ම එක දිගට යවමින් ප්‍රතිවාදී පිතිකාරිණියන් පාලනය කරගත් නමුත් ලියා සහ රෙබෙකා එක්ව තරගයේ තාලය වෙනස් කළහ. 

අයර්ලන්ත කාන්තා පිලට කෝඩුකාර ක්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළත්ව සිටි අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු තරගයේදී ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් 11 දෙනාම තරගයට යොදාගෙන තිබිණ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ශූරතාවලියට ඇතුළත් මෙම තරගාවලියේදී පළමු තරගය ජයගත් අයර්ලන්තය මේ වන විට 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී. 

අයර්ලන්ත කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 255 
(ක්‍රිස්ටිනා කූල්ටර් රෙයිලි 24, ඇමී හන්ටර් 66, ලියා පෝල් 81, රෙබෙකා ස්ටෝකල් නොදැවී 53, අචිනි කුලසූරිය 48/2, කවීෂා දිල්හාරි 35/2)

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 240
(චමරි අතපත්තු 22, හර්ෂිතා සමරවික්‍රම 105, කවීෂා දිල්හාරි 53, හසිනි පෙරේරා 14, නිලක්ෂි ද සිල්වා නොදැවී 24, අර්ලේන් කේලි 41/3, ජේන් මැගුයිරි 33/2) 


අදහස් (1)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සටනක් දී පරදිති
  • Prabha Monday, 19 August 2024 05:53 PM

    හර්ෂිතා උඩපන්දු අත හැරියේ නැතිනම් කළින් තරගය දිනුම්.. කෙසේ වෙතත් ශතකයට මගේ සුබ පැතුම්...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.