Last Update  :  2025-04-25 21:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා කාන්තා පිලේ වෙනස්කම් 5 ක්

ශ්‍රී ලංකා කාන්තා පිලේ වෙනස්කම් 5 ක්

editorial - 2025 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර මෙම මස 27 වැනිදා සිට මැයි මස 11 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා සංචිතයේ වෙනස්කම් 5 ක් සිදුකිරිමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

ඉකුත් මාර්තු මාසයේ නවසීලන්තයට එරෙහිව එරටදී පැවැති එක්දින තරගාවලියට සහභාති වූ ශ්‍රී ලංකා කාන්තා සංචිතයට ඇතුළත්ව සිටි ඉමේෂා දුලානි, උදේෂිකා ප්‍රබෝධනී, සචිනි නිසංසලා, කෞෂිනී නුත්‍යංගනා සහ චේතනා විමුක්ති යන ක්‍රීඩිකාවන්ට මෙම තුන් කොන් තරගාවලියේදී සංචිතයේ ස්ථාන අහිමිවී තිබේ. 

ශ්‍රී ලංකා සංචිතයේ සිටි ප්‍රවීනතම වේග පන්දු යවන්නිය වන උදේෂිකා ප්‍රබෝධනී එක්දින තරග 70 කදී කඩුලු 36 ක් බිඳහෙළා ඇති නමුත් අබාධ තත්වයක් හේතුවෙන් නවසීලන්ත තරගාවලියේදී එකදු තරගයකට හෝ ක්‍රීඩා නොකළාය. විසි දෙහැවිරිදි කඩුලු රකිනියක වන කෞෂිණී නුත්‍යංගනා නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළේ එක් විස්සයි-20 තරගයක් පමණි. 

විසිතුන් හැවිරිදි දකුණත් පිතිකාරිණියන් දෙදෙනකු වන ඉමේෂා දුලානි සහ චේතනා විමුක්ති නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියට සහභාගි වුවද, එහිදී ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූහ. වමතින් දඟ පන්දු යවන ක්‍රීඩිකා සචිනි නිසංසලාටද එම තරගාවලියේදී දවාගත හැකි වූයේ කඩුලු 2 ක් පමණි.  

ඔවුන් වෙනුවට අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් වන හසිනි පෙරේරා, ඉනෝකා රණවීර සහ හන්සිමා කරුණාරත්නද, නවක ක්‍රීඩිකාවන් වන පියුමි වත්සලා, දෙව්මි විහන්ගා සහ මල්කි මදාරාද තුන් කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතයට කැඳවා සිටිති. 

මෙම ක්‍රීඩිකාවන් අතරින් ප්‍රවීනතම ක්‍රීඩිකාව වන ඉනෝකා රණවීර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයද දරා ඇති අතර එක්දින තරග 76 කදී කඩුලු 76 ක් බිඳහෙළීමටද ඇය සමත්ව ඇත. මැද පෙළ පිතිකාරිණියක වන හසිනි පෙරේරා තරග 49 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 730 කි. තිස්එක් වැනි වියේ පසුවන හන්සිමා කරුණාරත්න එක්දින තරග 19 කදී ලකුණු 209 ක් රැස්කර තිබේ. 

කෙසේ වුවත් මෑතකදී ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩිකා දෙව්මි විහන්ගා මෙන්ම 29 හැවිරිදි පියුමි වත්සලා සහ 25 හැවිරිදි මල්කි මදාරාද තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා නොමැත. දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩිකා මල්කි මදාරා ඉකුත් මාර්තු මාසයේදී නවසීලන්තයට එරෙහිව විස්සයි-20 තරග 3 කට සහභාගි වී කඩුලු 3 ක් බිඳහෙළා ඇත. 


ශ්‍රී ලංකා කාන්තා සංචිතය
චමරි අතපත්තු (නායිකා), විෂ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, පියුමි වත්සලා, මනුදි නානායක්කාර, දෙව්මි විහන්ගා, ඉනෝකා රණවීර, ඉනෝෂි ප්‍රනාන්දු, හන්සිමා කරුණාරත්න, රෂ්මිකා සෙව්වන්දි, මල්කි මදාරා, සුගන්දිකා කුමාරි සහ අචිනි කුලසූරිය 


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පිලේ වෙනස්කම් 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.