Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ප්‍රවීනයෝ තෙවැනි ජය ලබති
ප්‍රවීනයන්ගේ විස්සයි-20 ලීගය

ශ්‍රී ලංකා ප්‍රවීනයෝ තෙවැනි ජය ලබති

editorial - 2025 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ ලීග විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ඩිනේෂ් රැම්ඩින් නායකත්වය දැරූ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීනයන්ගේ කණ්ඩායමට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට කුමාර් සංගක්කාර නායකත්වය දරන ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම ඊයේ (6 වැනිදා) සමත් විය. 

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම ලැබූ තෙවැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග එතෙක් තරගාවලිය තුළ අපරාජිතව සිටි කොදෙව් කණ්ඩායමේ අපරාජිත බව බිඳවැටිණ. කෙසේ වුවත් කොදෙව් කණ්ඩායමේ නිත්‍ය නායක බ්‍රයන් ලාරා සහ උප නායක ක්‍රිස් ගේල් ආබාධ තත්වයන් හේතුවෙන් මෙම තරගයට සහභාගි නොවූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ප්‍රවීනයන්ගේ කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි. තරගය ජය ගැනීමට අවසන් ඕවරයේදී කොදෙව්වන්ට ලකුණු 28 ක් රැස්කරගත යුතුව තිබුණද, නිලකුණු පන්දු 4 ක්ද යවමින් එම ඕවරය ලකුණු 5 කට සීමා කිරීමට නුවන් ප්‍රදීප් සමත් විය. 

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඩ්වේන් ස්මිත් පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 49 ක් රැස්කළ අතර ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 31 කින් නොදැවී ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඉසුරු උදාන සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමින් කඩුලු 2 ක් බිඳහෙළුෑ අතර ජීවන් මෙන්ඩිස් සහ චතුරංග ද සිල්වා කඩුල්ල බැගින් දවාගනිමින් කොදෙව් ප්‍රවීනයන්ගේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමීම සඳහා උදානට අනගි සහායක් ලබා දුන්හ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 173 ක් ලබාගත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ අසේල ගුණරත්න එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග පන්දු 45 කින් ලකුණු 64 ක් රැස්කළේය.

පෙර තරගයේදී ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු උපුල් තරංග මෙම තරගයේදී එක් ලකුණක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගිය නමුත්, සාර්ථක පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර පන්දු 42 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 47 ක් රැස්කිරීමට සමත් විය. 


ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 173 
(කුමාර් සංගක්කාර 47, ළහිරු තිරිමාන්න 14, අසේල ගුණරත්න 64, චතුරංග ද සිල්වා 17, ඈෂ්ලි නර්ස් 23/3, ටීනෝ බෙස්ට් 43/2) 

බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීනයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 152 
(ඩ්වේන් ස්මිත් 49, නර්සිං ඩියොනරින් 14, ලෙන්ඩ්ල් සිමන්ස් නොදැවී 37, ජොනතන් කාටර් 17, දිනේෂ් රැම්ඩින් නොදැවී 15, ඉසුරු උදාන 15/2) 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා ප්‍රවීනයෝ තෙවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.