Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ප්‍රවීනයෝ ලකුණු සටහනේ මුදුනටම
ප්‍රවීනයන්ගේ විස්සයි-20 ලීගය

ශ්‍රී ලංකා ප්‍රවීනයෝ ලකුණු සටහනේ මුදුනටම

editorial - 2025 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ ලීග විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ඔයින් මෝගන් නායකත්වය දරන එංගලන්ත ප්‍රවීනයන්ගේ කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට කුමාර් සංගක්කාර නායකත්වය දරන ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම පෙරේදා (10 වැනිදා) සමත් විය. 

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම ලැබූ සිවුවැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග සත්කාරක ඉන්දියාව පසුපසට ඇද දමමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමටද ඔවුහු සමත් වූහ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර ඔවුන් සමග තරග වදින කණ්ඩායම් දෙක ඊයේ (11 වැනිදා) රාත්‍රියේදී සහ අද (12 වැනිදා) රාත්‍රියේදී තීරණය වීමට නියමිතව තිබිණ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ප්‍රවීනයෝ ඕවර 12.5 කදී කඩුල්ලක් පමණක් දැවී ඉලක්කහ පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක කුමාර් සංගක්කාර පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 19 ක් සමග නොදැවී ලකුණු 106 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

රොමේෂ් කළුවිතාරණ (16) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර, ඉන් නොනැවතී අසේල ගුණරත්න (නොදැවී 22) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 22 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ප්‍රවීනයන්ගේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තේය. වේගවත් පිතිහරඹයක නිරත වෙමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් පිල් මුස්ටාඩ් එහිදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 39 කින් ලකුණු 50 ක් රැස්කළේය. 

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ඉසුරු උදාන, අසේල ගුණරත්න, ජීවන් මෙන්ඩිස්, චතුරංග ද සිල්වා සහ ඩිල්රුවන් පෙරේරා එක් කඩුල්ල බැගින් බිඳහෙළමින් එංගලන්ත ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ පිතිකරුවන් පීඩනයට පත් කළහ.

 
එංගලන්ත ප්‍රවීනයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 146  
(පිල් මුස්ටාඩ් 50, ටිම් අම්බ්‍රොස් 17, ඩැරන් මැඩී 15, ටිම් බ්‍රෙස්නන් නොදැවී 18) 

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පිල - ඕවර 12.5 කදී කඩුල්ලක් දැවී 150
(කුමාර් සංගක්කාර නොදැවී 106, රොමේෂ් කළුවිතාරණ 16, අසේල ගුණරත්න නොදැවී 22) 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා ප්‍රවීනයෝ ලකුණු සටහනේ මුදුනටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.