Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ‘ඒ’ පිල එක්දින තරගාවලිය දිනයි
දකුණු අප්‍රිකානු සංචාරය

ශ්‍රී ලංකා ‘ඒ’ පිල එක්දින තරගාවලිය දිනයි

editorial - 2024 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පිට පිටම දෙවැනි එක්දින තරගයත් ජයගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන නිල නොවන එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක ජයක් අත්පත් කරගත්හ. දඟ පන්දු යවන්නන් වන දුෂාන් හේමන්ත (48/5) සහ වනුජ සහන් (52/2) දෙවැනි තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකණු 30 ක ජයග්‍රහණයක් කරා කැඳවාගෙන ගියහ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 269 ක් ලබාගත්තේය. දකුණු අප්‍රිකානු ‘ඒ’ ඉනිම ලකුණු 239 කින් නිමා විය. 

සඳුදා (02 වැනිදා) පොචෙස්ට්‍රෝම් නුවරදී පැවැති තරගයේදී ලකුණු 270 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම 23 වැනි ඕවරයේදී කඩුලු 2 කට ලකුණු 149 ක් ලබා සිටියේය. ඒ වන විට දකුණු අප්‍රිකානුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය ඕවරයකදී ලකුණු 6.48 ක් තරම් ඉහළ අගයක තිබිණ. 

දකුණු අප්‍රිකානු පිතිකරුවන් රිසි සේ ලකුණු රැස්කරමින් සිටියදී පා දඟ පන්දු යවන්නා වන දුෂාන් හේමන්ත විසින් සෙනුරන් මුතුසාමි කඩුල්ල ආවරණය කිරීමට හසුකර ගන්නා ලදි. ඒ අතරවාරයේදී අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක වනුජ සහන් පන්දු 3 ක් ඇතුළත තවත් පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීම නිසා, ඕවර 3 ක් ඇතුළත, ලකුණු පුවරුව කඩුලු 2 ට 149 සිට කඩුලු 5 කට 156 ක් ලෙසින් වෙනස් විය. 

එතැන් සිට ග්‍රහණය දැඩිකළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු ලබාගැනීම අසීරු අභියෝගයක් බවට පත්කළහ. ලකුණු 194 දී නැවත වරක් ක්‍රියාත්මක වූ දුෂාන් හේමන්ත පන්දු 6 ක් ඇතුළත තවත් පිතිකරුවන් තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට පිටත් කළේ දකුණු අප්‍රිකානුවන්ට බලාපොරොත්තුවක සේයාවක් හෝ ඉතිරි නොකරමිනි. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ නායක පසිඳු සූරියබණ්ඩාර පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරා ගත් නමුත් කමිල් මිෂාර (10) සහ නුවනිඳු ප්‍රනාන්දු (2) වේලාසනින් දැවී ගියහ. නායකයාගේ ඉනිම ලකුණු 21 කට නිමාවන විට කඩුලු 3 කට 85 ක් ලෙසින් ලකුණු පුවරුවේ සටහන් විය. 

එතැන් සිට ක්‍රියාත්මක වූ ළහිරු උදාර (86), සහන් ආරච්චිගේ (52), සොනාල් දිනූෂ (නොදැවී 40) සහ චමිඳු වික්‍රමසිංහ (44) ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 250 කඩඉමෙන් එතෙර කළහ. 

පන්දු 95 කින් ලකුණු 86 ක් ලබාගත් ළහිරු උදාරගේ ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහරක් අතුළත් විය. සහන් ආරච්චිගේ සමගින් එක්ව ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ වඩාත්ම තීරණාත්මක පිතිහරඹය කළ සොනාල් දිනූෂ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැංවිමට සහාය වූයේ චමිඳු වික්‍රමසිංහට නිදහස දෙමිනි. පන්දු 35 කින් ලකුණු 44 ක් ලබාගත් වික්‍රමසිංහ හතරේ පහර 2 කින් සහ හයේ පහර 2 කින් දකුණු අප්‍රිකානුවන්ට සංග්‍රහ කළේය. 

පළමු නිල නොවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ලකුණු 93 ක ජයක් අත්කර ගත් අතර තරගාවලියේ තුන්වැනි සහ අවසන් එක්දින තරගය හෙට (4 වැනිදා) පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා ‘ඒ’ - ඕවර 50  කදී කඩුලු 7 ට 269 යි
(ළහිරු උදාර 86, කමිල් මිෂාර 10, පසිඳු සූරියබණ්ඩාර 21, සහන් ආරච්චිගේ 52, සොනාල් දිනූෂ නොදැවී 40, චමිඳු වික්‍රමසිංහ 44, ඇන්ඩිල් පෙලුක්වායෝ 51/2, ඇන්ඩිල් සිමලේන් 24/2)

දකුණු අප්‍රිකානු ‘ඒ’ - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 239 
(මිකායිල් ප්‍රින්ස් 44, මැතිව් බී්‍රට්ස්කි 74, සෙනුරන් මුතුසාමි 37, ඇන්ඩිල් පෙලුක්වායෝ 24, ඇන්ඩිල් සිමලේන් 27, වනුජ සහන් 52/2, දුෂාන් හේමන්ත 48/5)

 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල එක්දින තරගාවලිය දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.