Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ලකුණු 275 ක ඉලක්කයක් කරා යමින් සිටින නවසීලන්ත කණ්ඩායම ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (22 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටියේය. තරගයෙන් ජයගැනීම සඳහා නවසීලන්තයට තවත් ලකුණු 68 ක් අවශ්‍ය වන නමුත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ කඩුලු දෙකක් පමණි.
කඩුලු 6 ක් බෙදාගත් රමේෂ් මෙන්ඩිස් (83/3) සහ ප්‍රභාත් ජයසූරිය (66/3) ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ස්ථාවර තත්ත්වයට කැවාගෙන ආහ.
නවසීලන්තය වෙනුවෙන් හුදෙකළා සටනක නිරතව සිටින රචින් රවීන්ද්‍ර, නොදැවී ලකුණු 91 ක් ලබා සිටියේ පැය තුනකට වැඩි කාලයක් පිටියේ රැඳෙමිනි. දිගු අනාගතයකට හිමිකම් කියන වමත් පිතිකරුවා පන්දු 198 කට මුහුණ දෙමින් ඒවායින් 10 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය.
ඔහුගේ කඩුල්ල දවාගැනීමේ අභිප්‍රායෙන්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් ආක්‍රමණශීලී පිටියක් සකස් කරන සෑම අවස්ථාවකදීම එයින් නිසි ප්‍රයෝජන ගත් රචින් රවීන්ද්‍ර, දුර්වල පන්දු තෝරා බේරාගනිමින් ලකුණු ලබාගත්තේය. එහෙත් හොඳ පන්දුව දුටු තැන පරෙස්සම් වීමට ද අමතක නොකළේය.
නවසීලන්ත ඉනිමේ දෙවැනි ඕවරයේදීම ඩෙවොන් කොන්වේ දැවී ගියත් කේන් විලියම්සන් (30) සහ ටොම් ලෙතම් (28) එක්ව ලකුණු 45 ක් සම්බන්ධතාවක් ගොඩනඟමින් යද්දී ධනංජයගේ මුල්ම ඕවරයේදී ලෝකයේ අංක 2 හිමි ටෙස්ට් පිතිකරුවා ස්ටම්ප් කිරීමකට හසුවිය. පසුව රචින් රවීන්ද්‍ර සහ ටොම් බ්ලන්ඩ්ල් (නොදැවී 10) එක්ව තේ පානය වන විට ලකුණු සංඛ්‍යාව 114 ක් දක්වා ඉහළ දැමූහ.
තුන්වැනි දිනය නිමාවේදී කඩුලු 4 කට ලකුණු 237 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු පහම ලකුණු 23 කට බිම දැමූ අජාස් පතෙල් ප්රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ තමන්ගේ ඉලක්කය ලකුණු 300 න් මෙපිට තබාගත්හ. අද පෙරවරුවේදී අජාස් පතෙල්ගේ පන්දු යැවීම සටහන් වූයේ 11-5-22-5 ක් ලෙසිනි.
සිකුරාදා සවස නොදැවී සිටි පිතිකරුවන් දෙදෙනා වූ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 34) සහ ධනංජය ද සිල්වා (නොදැවී 34) එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව 237 සිට ඉදිරියට තල්ලු කරගෙන ගියහ. ලකුණු 250 ඉක්මවීමත් සමගම ධනංජය ස්ටම්ප් කිරීමට හසුව දැවී ගියේය.
මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් පිටියේ සිටියදී කඩුලු 5 කට 286 ක් ලෙසින් ලකුණු පුවරුව කියැවුණ නමුත් අජාස් පතෙල්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රි ලංකා පිතිකරුවෝ එකා පසුපස එකා ක්‍රීඩාගාරයට ගියහ. පතෙල්ගේ (90/6) පන්දු යැවීම නවසීලන්ත ටෙස්ට් ක්‍රීඩකයකු ශ්‍රී ලංකාවේදී කළ දෙවැනි හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙයි. නවසීලන්ත ක්‍රීඩකයකු ශ්‍රී ලංකාවේදී කළ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේ ඩැනියෙල් විටෝරි 1998 එස්.එස්.සී. ටෙස්ට් තරගයේදී ලකුණු 64 කට කඩුලු 6 ක් දවාගැනීමයි.
ජනාධිපතිවරණය නිමා වීමත් සමගින් පනවන ලද ඇඳිරි නිතිය අද (22 වැනිදා) මධ්‍යාහ්න 12.00 දක්වා දීර්ඝ කර තිබූ නමුත් තරගය නියමිත පරිදි පෙරවරු 9.48 ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කොළඹට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඊයේ සවස් වන විටත් ආපසු ගාල්ලට පැමිණ සිටියහ.
මෙම තරගය, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන, ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරගයකි. ලෝක ටෙස්ට් ශූරතාවලියේ වර්තමාන ප්‍රසාද ලකුණු පුවරුව අනුව නවසීලන්තය 3 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේත් සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.